පාකිස්තානයට ලකුණු 134ක ඉලක්කයක්

පාකිස්තානයට ලකුණු 134ක ඉලක්කයක්

September 23, 2025   09:57 pm

ආසියානු කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ සුපිරි සිව්දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගී වන දෙවන තරගය පාකිස්තාන කණ්ඩායම සමග මේ වනවිට පැවැත්වෙයි.

තරගයේ කාසියේ වාසිය දිනූ පාකිස්තාන කණ්ඩායමේ නායකයා පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළේය.

ඒ අනුව ප්‍රථමයෙන් පන්දුවට පහරදීම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස කුසල් මෙන්ඩිස් පළමු පන්දු ඕවරයේදී ලකුණු නොලබා ක්‍රීඩාගාරය වෙත යැවීමට පාකිස්තාන වේග පන්දු යවන ක්‍රීඩක ෂහීන් ෂා අෆ්රිඩි සමත්විය.

ඉන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායමේ දෙවැනි කඩුල්ල ලෙස ලකුණු 08ක් රැස්කර ගෙන සිටි පැතුම් නිස්සංක දවා ගැනීමට ෂහීන් ෂා අෆ්රිඩි සමත්විය.

ඉන් අනතුරුව කුසල් පෙරේරා ලකුණු 15ක් රැස්කරගෙන සිටියදී දවාගත්තේය.

නායක චරිත් අසලංකටද පිටිය තුළ සාර්ථකවීමට නොදී ලකුණු 20ක් රැස්කර ගෙන සිටියදී පාකිස්තාන පන්දු යවනන් විසින් ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමට සමත්විය.

බංග්ලාදේශ තරගයේ සුපිරි පිතිහරඹයක නිතර වූ දසුන් ශානකට කිසිදු ලකුණු රැස්කර ගැනීමට පාකිස්තාන පන්දු යවන්නන් ඉඩදුන්නේ නැත.

හුදකලා සටනක නිරතවූ කමිඳු මෙන්ඩිස් ලකුණු 50ක් රැස්කර ගැනීමට සමත් විය.

ඒ අනුව පාකිස්තාන පන්දු යවන්නන් හමුවේ අසරණ වූ  ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 08ක් දැවී ලකුණු  133ක් රැස්කළේය.

මෙම තරගය ජයගැනීම සඳහා පාකිස්තාන කණ්ඩායමට හිමිව ඇති ඉලක්කය ලකුණු 134කි.