ඩෑන් ඝාතනයේ වෙඩික්කරු ඇතුළු පිරිස රඳවා ප්‍රශ්න කිරීමට අවසර
September 19, 2025 09:16 pm
දේශපාලන ක්‍රියාකරුවෙකු වූ ඩෑන් ප්‍රියසාද් ඝාතනය සම්බන්ධව අත්අඩංගුවට ගත් වෙඩික්කරු ඇතුළු තිදෙනා රඳවා ප්‍රශ්න කිරීම සඳහා කෑගල්ල මහෙස්ත්‍රාත් අධිකරණය අද (19) අවසර ලබා දී තිබේ.
ඊයේ දිනයේදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ඩෑන් ප්‍රියසාද් ඝාතනයේ වෙඩික්කරු බවට සැක කෙරෙන පුද්ගලයා, ඔහුගේ අනියම් බිරිඳ බව පැවසෙන කාන්තාව සහ ඔවුන්ට රැකවරණය ලබා දුන් බව පැවසුවෙන පුද්ගලයෙකුය.
කෑගල්ල රංවල ප්‍රදේශයේ පවතින රාත්‍රි සමාජ ශාලාවක මෙම සැකකරු සිටින බවට
කෑගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය වෙත ලද තොරතුරක් මත අදාළ නිලධාරීන් විසින් සිදුකළ වැටලීමකදි මෙම පිරිස අත්අඩංගුවට ගෙන තිබේ.
එහිදී පොලීසිය විසින් අනාවරණය කරගෙන ඇත්තේ සැකකරු සිය අනියම් බිරිඳ සමගින් මසකට රුපියල් 60,000ක මුදලක් ගෙවා කුලී පදනම මත කාමරයක් රැගෙන මාස තුනක කාලයක් රැඳී සිට ඇති බවය.
එමෙන්ම පොලීසිය විසින් සැකකරුවන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔවුන් සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 12කට ආසන්න ප්‍රමාණයක්ද අනියම් බිරිඳ සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 7කට ආසන්න ප්‍රමාණයක්ද පොලීසිය විසින් සොයාගෙන තිබේ.
ඒ අනුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරුවන් සඳහා නවාතැන් ලබා දුන් බව පැවසෙන පුද්ගලයාද දුම්වැටි බණ්ඩල් 64ක් සහ ගජමුතු කිහිපවක්ද සමගින් අත්ඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් කෑග්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට අද පියවර ගෙන ඇති අතර එහිදී කෑගල්ල මහේස්ත්‍රාත් ශශිකා මිථුනආරච්චි මහත්මිය විසින් රැකවරණය ලබා දුන් පුද්ගලයා හෙට (20) දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීමටත් අනෙක් සැකකරුවන් දින 7ක් රඳවාගෙන ප්‍රශ්න කිරීම සඳහාත් පොලීසියට අවසර ලබා දී ඇත.
තවද සියලු සැකකරුවන් එළැඹෙන 25 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් මහේස්ත්‍රාත්වරිය මෙහිදී නියෝග කළාය.