ජනාධිපති අරමුදලේ නිසි අරමුණ අගමැතිනිය පහදයි

ජනාධිපති අරමුදලේ නිසි අරමුණ අගමැතිනිය පහදයි

September 14, 2025   05:24 pm

පසුගිය පාලන සමයේ ජනාධිපති අරමුදල වරප්‍රසාදිත කණ්ඩායම් විසින් අවභාවිතා කර ඇති බවත්, එය නිවැරදි ප්‍රවේශයකට ගෙන ඒමට වත්මන් රජයට හැකි වූ බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය සඳහන් කළාය.

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය මෙම අදහස් පළ කළේ ජනාධිපති අරමුදලෙන් මධ්‍යම පළාතේ අ.පො.ස උසස් පෙළ විශිෂ්ටයින් ඇගයීම වෙනුවෙන් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදි අද (14) පැවති වැඩසටහනට එක් වෙමිනි.

මෙහිදී මහනුවර, මාතලේ සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කයන්හි 2023 සහ 2024 වර්ෂවලට අදාළ අ.පො.ස උසස් පෙළ විභාගයේදී, විෂය ධාරා 6 යටතේ ඉහළ ප්‍රතිඵල ලබා ගත් සිසුන් 10 දෙනකු බැගින්, සිසුන් 361 දෙනකුට රුපියල් ලක්ෂය බැගින් වූ දිරි දීමනාවක් ප්‍රදානය කෙරුණු අතර මේ සඳහා ජනාධිපති අරමුදල වැය කර ඇති මුදල රුපියල් මිලියන 36.1 කි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය සඳහන් කළේ, ජනාධිපති අරමුදල ස්ථාපිත කළ සත්‍ය අරමුණ ක්‍රියාත්මක වන්නේ වත්මන් ආණ්ඩුව යටතේ බවත්, ඈත ගමේ සිටින පුරුවැසියා වෙතටම ගොස් පහසුකම් සැපයීමට ජනාධිපති අරමුදල මේ වන විට කටයුතු කරමින් සිටින බවත්ය.

වෛද්‍යාධාරවලට එහා ගිය වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට ජනාධිපති අරමුදල මේ වන විට කටයුතු කර ඇති බවත්  දරුවන්ගේ අධ්‍යාපනයටද ආධාර දෙන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම තුළින් දැනුමෙන් පිරි යහපත් අනාගත මානව සම්පතක් නිර්මාණය කිරිමට දායක වන බවත් කියා සිටියාය. 

එක් රාමුවක් යටතේ පවතින අධ්‍යාපන ක්‍රමය වෙනුවට විවිධ ක්ෂේත්‍ර දකින, විවෘත මනසක් ඇති මානව සම්පතක් බිහි කිරීම වෙනුවෙන් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදු කිරීමට සූදානම් බවත්, එමඟින් දරුවන්ගේ සිහින යථාර්තයක් කිරිමට හැකියාව ලැබෙන බවත් අග්‍රාමාත්‍යවරිය සඳහන් කළාය.

මෙහිදී  තවදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය, 

ජාතික අරමුදල පිළිබඳ කතා කරද්දී අපට ගොඩක් අහන්න ලැබෙන්නේ ජනාධිපති අරමුදල අවභාවිත වුණ විදිහ ගැන. වරප්‍රසාද ලැබුණු පිරිසක් විසින්ම තමන්ගේ වරප්‍රසාද වගේම ප්‍රතිලාභ වැඩි කරගන්න මේ අරමුදල අවභාවිත කරලා තියෙනවා.

අද ඒ තත්ත්වය සම්පූර්ණයෙන් ම වෙනස් වෙලා ජනාධිපති අරමුදලේ ඇත්ත අරමුණ සඳහා 100% භාවිත කරන එක ගැන අපි සතුටු වෙනවා. ජනතාවට පහසුවෙන් තමන්ගේ ප්‍රදේශයේ දීම ලබා ගන්න පුළුවන් විදිහට දැන් අරමුදල ජනතාවට කිට්ටු වෙලා තියෙනවා.

ඒ වගේම මානව සම්පත දියුණු කිරීමේ රජයේ ප්‍රමුඛ කාර්යයක් විදිහට රජය හඳුනා ගෙන තියෙනවා. ඒ අරමුණ ඇතිව අපි අධ්‍යාපනයට ආයෝජනය සිදු කරනවා. ඒ ආයෝජනය මුදල් අතින් පමණක් නෙවෙයි අනෙක් සියලු අංශවලින් ද සිදු කරනවා.

 වෙනස් වන ලෝකය තුළ වෙනස් වන විදිහට හිතන්න පුළුවන්, සෑම පැත්තක්ම දකින්න පුළුවන්, ලෝකය වෙනස් කරන්න පුළුවන් විදිහේ මානවවාදී පුරවැසියන් පිරිසක්  බිහි කරන්න තමයි අපි උත්සාහ කරන්නේ."