තායිලන්තයේ හිටපු අගමැති තක්ෂින් ෂිනවත්‍රාට වසරක සිරදඬුවමක්

තායිලන්තයේ හිටපු අගමැති තක්ෂින් ෂිනවත්‍රාට වසරක සිරදඬුවමක්

September 9, 2025   10:03 am

තායිලන්තයේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද (09) එරට හිටපු අගමැති තක්ෂින් ෂිනවත්‍රාට වසරක සිරදඬුවමක් නියම කර තිබේ.

ඒ මීට පෙර ඔහුට පැනවූ වසරක සිර දඬුවමක දී රෝහලක ප්‍රභූ අංශයේ රඳවා තබා ගැනීම නීති විරෝධී බව සඳහන් කරමිනි.

තක්සින් දිගු කලක් රෝහලේ රැඳී සිටීමේ වගකීම වෛද්‍යවරුන්ට පමණක් පැවරී නොමැති බවත්,  ප්‍රකෝටිපතියෙකු වන තක්ෂින් ෂිනවත්‍රා හිතාමතාම ඔහුගේ රෝහල් කාලය දීර්ඝ කළ බවත් පවසමින් පස් දෙනෙකුගෙන් යුත් විනිසුරු මඩුල්ලක් මෙම තීන්දුව ලබා දී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

ඔහුගේ පාලනයට එරෙහිව ගොඩ නැගුණ කුමන්ත්‍රණයකින් පසුව 2008 වසරේ දී ඔහු එරටින් පළාගිය අතර එහිදී එරට හමුදා නායකයින් බලය අල්ලා ගත්තේය.

ඉන්පසුව ඔහු නොමැතිව ඔහුට එරෙහිව නඩු විභාගයක් පැවති අතර එහි තීන්දුව අනුව ඔහුට වසර 15ක සිර දඬුවමක් නියම කෙරිණි. 

ඒ බලය අයුතු ලෙස භාවිත කිරීම, දූෂණ සහ වංචා මෙන්ම එරට රජුට එරෙහි වූ බවට චෝදනා කරමිනි.

නමුත් ඔහු එම චෝදනා ප්‍රතික්ෂේප කර තිබූ අතර පසුව 2023 වසරේදී ඔහු නැවත සිය රටට පැමිණියේය.

එහිදී එරට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඔහුට වසර 8ක සිර දඬුවමක් නියම කළේය.

නමුත්  තායිලන්ත රජු විසින් එය වසරක් දක්වා අඩු කිරිමට පියවර ගෙන ඇත.

ඒ අනුව ඔහුට වසරක සිරදඬුවමක් නියම වූවද ඔහු එක්දිනක් හෝ බන්ධනාගාරයේ රැඳී නොසිටි අතර සෞඛ්‍ය හේතුන් මත එරට පොලිස් රෝහලක රඳවා සිට තිබේ.

පසවු 2024 වසරේ දී ඔහු නැවතත් නිදහස ලබා බැංකොක්හි පිහිටි සිය මන්දිරය වෙත පැමිණ තිබිණි.

එහිදී ඔහුට එරෙහිව නැවතත් නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති අතර එහි ප්‍රතිඵලයක් ලෙස අද නැවතත් ඔහුට වසර සිරදඬුවක් නියම කර තිබේ.

එරට ජනප්‍රිය "Pheu Thai"නම් දේශපාන පක්ෂයේ මූලිකයා වන තක්සින් බිලියනපතියෙකි.

මෙම තීන්දුව දශක දෙකක් පුරා දේශපාලනය ආධිපත්‍යය දැරූ බලවත් පවුලකට තවත් විශාල පහරක් බව විදෙස් මාධ්‍ය පවසයි.