පැනගිය අගමැති නැවත එයි
August 22, 2023 01:25 pm
විදෙස්ගතව සිටි තායිලන්තයේ හිටපු අග්‍රාමාත්‍ය තක්ෂින් සිනවත් නැවතත් සිය රටට පැමිණ තිබේ.
ඔහුව පිළිගැනීම සඳහා ඔහුගේ අනුගාමිකයින් විශාල සංඛ්‍යාවක් ගුවන්තොටුපොළට පැමිණ තිබුණි.
ඔහු 2008 වසරේදී තායිලන්තයෙන් පළාගියේය.
ඔහුට සහාය දක්වන කණ්ඩායම් අද (22) නව අගමැතිවරයෙක් තෝරාගැනීම සඳහා පාර්ලිමේන්තු ඡන්ද විමසීමකට මුහුණදීමට නියමිතය.
එරට ජනප්‍රිය "Pheu Thai" පක්ෂයේ මූලිකයා වන තක්සින් බිලියනපතියෙකි.
ඔහු එරටින් පළාගියේ කුමන්ත්‍රණයකින් එරට හමුදා නායකයින් බලය අල්ලා ගැනීමෙන් පසුවය.
ඔහු නොමැතිව ඔහුට එරෙහිව නඩු විභාගයක් පැවති අතර එහි තීන්දුව අනුව ඔහුට වසර 15ක සිර දඬුවමක් නියම කෙරිණි.
ඒ බලය අයුතු ලෙස භාවිත කිරීම, දූෂණ සහ වංචා මෙන්ම රජුට එරෙහි වූ බවට චෝදනා කරමිනි.
නමුත් ඔහු එම චෝදනා ප්‍රතික්ෂේප කරයි.
අද එරට වේලාවෙන් සිංගප්පුරුව හරහා ඩුබායි සිට පැමිණි පුද්ගලික ජෙට් යානයකින් තක්සින් සිය රට පැමිණීයේය.
අනතුරුව ඔහුව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත රැගෙන ගිය අතර එහිදී ඔහුට වසර 8ක සිර දඬුවමක් නියම කෙරිණි. පසුව ඔහුව දැඩි ආරක්ෂාවක් මධ්‍යයේ බැංකොක් බන්ධනාගාරය වෙත රැගෙන ගියේය.
නමුත් ඔහුව වැඩි කලක් බන්ධනාගාරයේ රඳවා තැබෙතැයි අපේක්ෂා නොකෙරේ.