ඉඩමට රසායනික ද්‍රව්‍ය දැමීමට හේතුව පියල් මනම්පේරි පොලීසියට කියයි
September 7, 2025 07:34 pm
මිද්දෙනිය, තලාව ප්‍රදේශයේ ඉඩමක තිබූ අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදාගන්නා රසායනික ද්‍රව්‍ය තොගය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන අනුව සැකපිට අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අඟුණකොළපැලැස්ස හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී පියල් මනම්පේරි නමැත්තා පවසා ඇත්තේ අදාළ ඉඩම ගිලාබහින බවත් එක වළක්වා ගැනීම සඳහා මෙම ද්‍රව්‍ය ගෙනත් දැමූ බවත්ය.
සැකකරු ඊයේ (06) පොලීසිය මගින් අත්අඩංගුවට ගත්තේය.
මෙහිදී පොලීසිය සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී සැකකාර මන්ත්‍රීවරයා පවසා ඇත්තේ,
''මගේ සහෝදරයා මෙතැන ගරාජ් එකක් හදන්න හිටියේ. මෙතන ගොඩක් වතුර පිරෙනවා. ඒ හින්දා ගිලාබහින එක වළක්වන්න තමයි අපි මේවා දැම්මේ'' ලෙසය.
සැකකරු වලස්මුල්ල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත අද ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දින 7ක් රඳවාතබාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය අවසර ලබාදී තිබේ.
බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය භාර සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල හා එහි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලින්ටන් සිල්වා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් මෙහි විමර්ශන කටයුතු සිදුකරන අතර පසුගියදා ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ බැකෝ සමන් නමැත්තා ලබාදුන් ප්‍රකාශ මත පදනම්ව මෙම විමර්ශන කටයුතු ආරම්භ කර ඇත.
මේ අතර ඊයේ පස්වරුවේ එම ඉඩමේ සිදුකළ වැඩිදුර සෝදිසි කිරීමකදී එහි මඤ්ඤොක්කා වගාවක් ආසන්නයේ කාණුවක සඟවා තිබූ අත්බෝම්බ සහ පතොරම් තොගයක් විමර්ශන නිලධාරීන්ට හමුව තිබුණි.
බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් හා විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් තහවුරු කළේ, විදේශ රටක නිෂ්පාදිත අත්බෝම්බ 5ක්, ටී.56 ගිනි අවි සඳහා යොදන උණ්ඩ 17ක් සහ බෝර 12 උණ්ඩ 3ක් ඒ අතර තිබූ බවය.
ඒ අනුව අද (07) දෙවැනි දිනටත් ඉඩමේ සෝදිසි මෙහෙයුම් සිදුකරනු ලැබුවේ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරින් විසිනි.
පොලීසිය පැවසුවේ, අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය මෙම ද්‍රව්‍ය පිළිබඳ සිදුකළ මූලික විමර්ශනයේදී මෙම ද්‍රව්‍ය අයිස් මත්ද්‍රව්‍ය සැකසීමට ගන්නා රසායනික ද්‍රව්‍යයක් බවට අනාවරණ වූ බවය.
මේ පිළිබඳ වැඩිදුර තහවුරු කරගැනීම සඳහා රජයේ රස පරීක්ෂක වාර්තාව ද ලබාගත යුතු බව පොලීසිය පැවසුවේය.
අදාළ රසායනික ද්‍රව්‍ය තොගය පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරින්ගේ පරීක්ෂාවට ලක්කිරීමෙන් අනතුරුව වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මිද්දෙණිය පොලිස් ස්ථානයට අද භාරදී ඇත.