ජපාන අගමැති ෂිගේරු ඉෂිබා ඉල්ලා අස්වෙයි

ජපාන අගමැති ෂිගේරු ඉෂිබා ඉල්ලා අස්වෙයි

September 7, 2025   05:39 pm

ජපාන අගමැති ෂිගේරු ඉෂිබා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

68 හැවිරිදි ඉෂිබා එරට වේලාවෙන් අද (07) සවස 6.00ට පැවැත්වූ විශේෂ මාධ්‍ය හමුවකදී සිය තීරණය තහවුරු කර ඇත.

එහිදී ඔහු පවසා ඇත්තේ, තම පක්ෂය ලැබූ මැතිවරණ පරාජයන්හි වගකීම තමන් භාරගන්නා බවය.

අද දවස පුරා බටහිර ලෝකයේ ප්‍රධාන මාතෘකාවක් වූයේ ජපාන අගමැතිවරයාගේ මෙම ඉල්ලා අස්වීමට ගෙන තිබූ තීරණයයි.

ඔහුගේ එම තීරණය ලොව සිව්වන විශාලම ආර්ථිකය හිමි ජපානය තුළ නව දේශපාලන අවිනිශ්චිතතාවක් ඇති කරනු ඇති බව විදෙස් වාර්තාවන්හි දැක් වේ.

ඉකුත් ජූලි මාසයේ පැවති ජපාන මැතිවරණයෙන් සිය ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ප්‍රමුඛ සන්ධානයට ඓතිහාසික පරාජයක් ලැබීමට සිදුවිය.

එය ඔහුගේ ඉල්ලා අස්වීම ඉක්මන් කළ හේතුව විය.

කෙසේ වෙතත් ජීවන වියදම ඉහළ යෑම හේතුවෙන් සිය ඡන්දදායකයින්ගෙන් එල්ල වූ පීඩනය, අමෙරිකානු වෙළෙඳ ගිවිසුම වැනි හේතුද ඔහුගේ ඉල්ලා අස්වීමේ තීරණයට බලපා ඇත.