ශ්‍රී ලංකාවට කඩුලු 4ක ජයක්
September 3, 2025 08:27 pm
සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහි පළමු විස්සයි20 ක්‍රිකට් තරගයෙන් කඩුලු 4ක ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (3) සමත් විය.
හරාරේ ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයේ සිම්බාබ්වේ කණ්ඩායම ලබාදුන් ලකුණු 176ක ඉලක්කය කඩුලු 6ක් දැවී තිබියදී තරගයේ 19.1වන පන්දුවාරයේදී පසුකර යෑමට ශ්‍රී ලංකා පිතිකරුවන්ට හැකිවූහ.
ශ්‍රී ලංකා ඉනිමට සාර්ථක ආරම්භයක් රැගෙන ඒමට ආරම්භක පිතිකරු යුගලය වූ පැතුම් නිස්සංක හා කුසල් මෙන්ඩිස් සමත් වූහ.
ඔවුන් දෙදෙනා පළමු කඩුල්ලට පන්දුවාර 10.1කදී ලකුණු 96ක් රැස්කළේය.
කෙසේ වෙතත් ඉන් අනතුරුව සිම්බාබ්වේ පන්දු යැවීමේ බලඇණිය ඉදිරියේ ශ්‍රී ලංකාව දැඩි පීඩනයකට හසුවිය.
තරගයේ 17වන පන්දුවාරය ආරම්භ කරන විට ශ්‍රී ලංකාවට පන්දුවාර 3ක් පමණක් ඉතිරිව තිබියදී ලකුණු 34ක් රැස්කළ යුතු තරමට එම ඉලක්කය අසීරුවී තිබුණි.
ඒ හේතුවෙන් තරගයේ ප්‍රතිඵලයක් ලබාගැනීම අවසන් පන්දුවාරය දක්වාම ඇඳී ගියේය.
කෙසේ වෙතත් පරාජය භාරගැනීමට අකමැති වූ කමිඳු මෙන්ඩිස් ප්‍රහාරාත්මක ඉනිමක් දියත්කර තරගයේ ජය ප්‍රතිවාදීන්ගෙන් උදුරාගත්තේය.
පන්දු 16කට පමණක් මුහුණදුන් කමිඳු ශ්‍රී ලංකා ඉනිමට අත්‍යවශ්‍ය ලකුණු 41ක් එක් කළේය.
එම ඉනිමට හයේ පහර 4ක් හා එක් හතරේ පහරක් ඇතුළත් විය.
ඊට අමතරව මෙම තරගයේ දී ජාත්‍යන්තර විස්සයි20 වරම් දිනාගත් දුශාන් හේමන්ත ද ශ්‍රී ලංකා ජය පහසු කරමින් පන්දු 9කදී හතරේ පහර 2ක් සමගින් ලකුණු 14ක් රැස්කළේය.
ඔවුන් දෙදෙනා 7වන කඩුල්ලට ලකුණු 35ක් එක්කළ අතර, ඒ වෙනුවෙන් මුහුණ දුන්නේ පන්දු 14කට පමණි.
මෙම ජයත් සමගින් තරග 3කින් යුත් තරගාවලිය තරග 1-0ක් ලෙස ශ්‍රී ලංකාව පෙරමුණ ගත්තේය.
මේ අතර මෙය සිම්බාබ්වේට එරෙහිව ශ්‍රී ලංකාව එරටදී ක්‍රීඩාකළ පළමු විස්සයි20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගය විය.
2008 වසරේ සිට දෙරට අතර මේ දක්වා විස්සයි20 තරග 7ක් පැවැත්වී ඇති අතර, ඉන් තරග 6ක් ශ්‍රී ලංකාව ජයගෙන තිබේ.
එක් තරගයක ජය සිම්බාබ්වේ විසින් තහවුරු කරගෙන ඇත.
ලකුණු පුවරුව
සිම්බාබ්වේ 175/7 (පන්දුවාර 20)
බ්‍රයන් බෙනට් 81 (57, 4x12)
සිකන්දර් රාසා 28 (22, 4x2,6x1)
දුෂ්මන්ත චමීර 3/30 (4)
දුශාන් හේමන්ත 1/28 (4)
ශ්‍රී ලංකාව 177/6 (පන්දුවාර 19.1)
පැතුම් නිස්සංක 55 (32, 4x4,6x2)
කමිඳු මෙන්ඩිස් නොදැවී 41 (16, 4x1,6x4)
කුසල් මෙන්ඩිස් 38 (35, 4x4)
දුශාන් හේමන්ත නොදැවී 14 (9, 4x2)
රිචඩ් ගරාවා 2/19 (4)