සයුරෙන් එතෙර
ඉන්දු - චීන සබඳතා තර කරගැනීම වේගවත් කරයි
August 21, 2025 03:39 pm
අමෙරිකානු තීරුබදු තර්ජනය හමුවේ දැඩි අභියෝගයකට ලක්වී සිටින ඉන්දියාව, චීනය සමග සබඳතා යථා තත්ත්වයට පත්කරගැනීම වේගවත් කර තිබේ.
ඊට අනුකූලව චීනය ද, ඉන්දියාව සමග රාජ්‍ය තාන්ත්‍රික හුවමාරු ඉහළ නංවමින් සිටී.
මෙහි ප්‍රතිඵලයක් ලෙස චීන විදේශ අමාත්‍ය වෑන්ග් යී ඉන්දීය සංචාරයක් ආරම්භ කළේ පසුගිය සඳුදා දිනයේදී ය.
චීන විදේශ අමාත්‍ය වෑන්ග් යී, නවදිල්ලි නුවරදී ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය සුබ්‍රමනියම් ජයිශංකර් සමග සාකච්ඡාවල නිරතවුණි.
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා ප්‍රකාශ කළේ වෙළෙඳ හා ආර්ථික ගැටලු, සංචාරයන් සහ වන්දනාමාන, දෙරටේ ජනතාව අතර සබඳතා (PEOPLE TO PEOPLE CONTAETS) ගංඟා දත්ත හුවමාරු, දේශසීමාවේ වෙළඳාම, අන්තර් සබඳතා සහ ද්විපාර්ශ්වික හුවමාරු සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කළ බවය.
ඉන්දියාව සහ චීනය අතර අනාගතය ඉලක්ක කරගත් ස්ථාවර සහයෝගීතාවක් ගොඩනැගීමට දායකවන කරුණු සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමුවූ බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
දෙරට අතර සියලු මට්ටම්වල හුවමාරු සහ සංවාදය ක්‍රමානුකූලව නැවත ස්ථාපනය කර ඇති බවත්, ද්විපාර්ශ්වික සබඳතා නැවතත් සහයෝගීතාව බවට පරිවර්තනය වී ඇති බවත් චීන විදේශ අමාත්‍ය වෑන්ග්-යී කියා සිටී.
චීන විදේශ අමාත්‍යවරයා මෙහිදී චීනය සහ ඉන්දියාව යන දෙපාර්ශ්වයෙන්ම ඉල්ලීමක් ද කළේය.
ඒ ප්‍රධාන පෙළේ රටවල් දෙකක් ලෙස එක්සත්ව ස්වයංශක්තිය ගොඩනැංවිය හැකි ආකාරය ගැන අනෙකුත් සංවර්ධනය වෙමින් පවතිනා රටවලට පූර්වාදර්ශයක් වන ලෙසය.
චීනය සහ ඉන්දියාව නිවැරදි උපක්‍රමීය අවබෝධයක් ඇති කරගත යුතු බවත් අනෙකා සතුරෙකු හෝ තර්ජනයක් ලෙස නොව පාර්ශ්වකරුවෙකු සහ අවස්ථාවන් උදාකරන්නෙකු ලෙස සැලකිය යුතු බවත් චීන විදේශ අමාත්‍යවරයා සඳහන් කර ඇත.
චීන විදේශ අමාත්‍ය වෑන්ග්-යී ගේ දෙදින ඉන්දීය සංචාරයේ තවත් අරමුණක් වූයේ ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් සමග 24 වැනි වටයේ දේශසීමා සාකච්ඡාවලට සහභාගීවීමය.
ඉන්දු-චීන සහයෝගීතාව ඉහළ තලයකට රැගෙනයාම සඳහා දේශසීමා ගැටලු පිළිබඳ සාකච්ඡා කිරීම වැදගත් වන බවත්, දේශසීමාවේ සාමය රැකීම දෙපාර්ශ්වයට ඒකාබද්ධව සිදුකළ හැකි බවත් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ජයිශංකර් කියා තිබේ.
ද්විපාර්ශ්වික සබඳතාවල දුෂ්කර අවධියක් පසුකළ ඉන්දියාව සහ චීනය දැන් මෙතැනින් ඉදිරියට යාමට අපේක්ෂා කරන බවත්, ඒ සඳහා දෙපාර්ශ්වය විසින්ම අවංක සහ ඵලදායී ප්‍රවේශයක් තිබිය යුතු බවත් ඔහු සඳහන් කර ඇත.
ඉන්දියාව සහ චීනය අතර පසුගිය කාලයේදී සබඳතා පළුදුවීමට බලපෑ ප්‍රධාන කාරණය වූයේ 2020 වසරේ දෙපාර්ශ්වයේ හමුදා අතර දේශසීමා ප්‍රදේශයේ සිදුවූ අවි ගැටුම ය.
මතභේදයට තුඩු දී ඇති දේශසීමා ප්‍රදේශයෙන් දෙපාර්ශ්වයම හමුදා බලය ගොඩනැංවීම සිදු නොකළ යුතු බවද ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ජයිශංකර් අවධාරණය කළ තවත් කාරණයකි.
ඉන්පසුව චීන විදේශ කටයුතු අමාත්‍ය වෑන්ග් යී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ද මුණගැසුණි.
එම හමුව සම්බන්ධයෙන් X අවකාශයේ සටහනක් පළ කළ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ, පසුගිය වසරේ චීන ජනාධිපති ෂී ජින්පින් රුසියාවේ කසාන්හිදී හමුවීමෙන් පසු ඉන්දු - චීන සබඳතා ශීඝ්‍ර ප්‍රගතියක් ලබා ඇති බවය.
එමෙන්ම චීනයේ ටියන්ජින්හි පැවැත්වෙන ෂැංහයි සහයෝගීතා සංවිධානයේ සමුළුවට සමගාමීව ඔහු නැවතත් මුණගැසීමට බලාපොරොත්තු වන බවත් අගමැති මෝදි සඳහන් කරයි.
ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මේ මස අගදී චීනයේ සංචාරයක නිරත වන්නේ වසර 7කින් යෙදෙන පළමු චීන සංචාරය ලෙසින්ය.
ඉන්දියාව සහ චීනය අතර ඵලදායී සහ ස්ථාවර සහයෝගීතාව කලාපීය මෙන්ම ලෝක සාමය සහ සශ්‍රීකත්වයට කැපී පෙනෙන දායකත්වයක් දක්වනු ඇති බවත් ඔහු අවධාරණය කරයි.