හිටපු ඇමති අනුර ප්‍රියදර්ශන ඇතුළු විත්තිකරුවන්ට අධිචෝදනා

හිටපු ඇමති අනුර ප්‍රියදර්ශන ඇතුළු විත්තිකරුවන්ට අධිචෝදනා

August 21, 2025   02:37 pm

2014 වසරේ දෙසැම්බර් මස ගංවතුර ආධාර සපයන බව සඳහන් කරමින් අනීතික ලෙස තෙල් නීතිගත සංස්ථාවට අයත් රුපියල් ලක්ෂ 61කට අධික මුදලක් වැය කිරීම තුළින් රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කිරීම ඇතුළු චෝදනා යටතේ හිටපු ඛනිජතල් විෂය භාර අමාත්‍ය අනුර ප්‍රියදර්ශනය යාපා මහතා ඇතුළු විත්තිකරුවන් හය දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබූ අධිචෝදනා පත්‍ර අද (21) කොළඹ මහාධිකරණය හමුවේ භාරදෙනු ලැබීය.

කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ඉදිරියේ මෙම අධිචෝදනා භාරදීම සිදුවුණි.

ඉන් අනතුරුව එක් එක් විත්තිකරු රුපියල් ලක්ෂය බැගින් වූ මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට විනිසුරුවරයා නියම කළේය.

ඉන් අනතුරුව විත්තිකරුවන්ගේ ඇඟිලි සලකනු ලබාගෙන වාර්තා කැඳවීමට ද විනිසුරුවරයා විසින් නියම කරනු ලැබීය.

ඉන් අනතුරුව මෙම නඩුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා ඔක්තෝබර් මස 01 වනදා කැඳවීමට ද නියම වුණි.

2014 වසරේ දෙසැම්බර් මස 26 වනදා ජනවාරි මස 26 වනදා අතර කාලසීමාව තුළ  ගංවතුර ආධාර සපයන බව සඳහන් කරමින්  ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් රුපියල් 6,146,110/- ක මුදලක් අනීතික ලෙස වැය කිරීම තුළින් රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කළ බවට චෝදනා කරමින් නීතිපතිවරයා විසින් එවක ඛනිජ තෙල් විෂය භාර අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අනුර ප්‍රියදර්ශනය යාපා ඇතුළු විත්තිකරුවන් හය දෙනෙකුට එරෙහිව චෝදනා 05ක් යටතේ මෙම නඩුව ගොනුකර තිබේ.