හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් අවලංගු කිරීමේ පනතට එරෙහිව තවත් පෙත්සම් දෙකක්

හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් අවලංගු කිරීමේ පනතට එරෙහිව තවත් පෙත්සම් දෙකක්

August 18, 2025   04:08 pm

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ හිමිකම් අවලංගු කිරීම සඳහා වන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට තවත් පෙත්සම් දෙකක් ඉදිරිපත් වී තිබේ. 

වේයන්ගොඩ ප්‍රදේශයේ පදිංචි හරින්ද්‍රරත්න බානගල සහ පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචි ප්‍රේමසිරි විජේසේකර යන අය විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර ඇති අද දෙරණ වාර්තාකරු පැවසීය. 

එහි වග උත්තර කරු ලෙස නීතිපතිවරයා නම් කර තිබේ.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ යෝජිත පනත් කෙටුම්පතේ 01 සිට 04 දක්වා වගන්තිවලින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර තිබෙන බලය බෙදීමේ සිද්ධාන්තය උල්ලංඝනය වීමක් සිදුවන බවය.

ඊට අමතරව අදාළ පනත් කෙටුම්පතේ අන්තර්ගත වගන්ති එකකින් වූ කීපයකින් රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර ඇති ස්වෛරීභාවය සහ ජනතා පරමාධිපත්‍යය උල්ලංඝනය කිරීමක් සිදුවන බවත් පෙත්සමෙන් චෝදනා කර තිබේ.

සමස්තයක් වශයෙන් ගත් කළ යෝජිත පනත් කෙටුම්පතේ වගන්තිවලින් සමස්ථ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් මූලික හරයන් උල්ලංඝනය වීමක් සිදුවන බව සඳහන් කළ පෙත්සම්කරුවන් ඒ තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර තිබෙන 1, 3, 4 වන ව්‍යවස්ථාවන් සහ 12(1) ව්‍යවස්ථාවේ සඳහන් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවත් සඳහන් කර ඇත.

ඒ අනුව අදාළ පනත් කෙටුම්පතේ ප්‍රශ්නගත වගන්ති සම්මත කිරීමට නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක විශේෂ බහුතර ඡන්දයකින් අනුමත වී එය ජනමත විචාරණයකින්ද අනුමත විය යුතු බවට නියෝගයක්  නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ. 

අදාළ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාලක ලේකම් රේණුක පෙරේරා මහතා විසින්ද ඉකුත් දා පෙතසමක් ගොනු කළේය.