දඹුල්ලේ වෙළෙඳුන්ට නිලධාරීන්ගෙන් දොස්

දඹුල්ලේ වෙළෙඳුන්ට නිලධාරීන්ගෙන් දොස්

August 16, 2025   08:41 pm

පාරිභෝගිකයින් මුදල් ගෙවා මිලදීගන්නා ආහාරපාන පිරිසිදුව හා පරිභෝජනයට සුදුසු තත්ත්වයෙන් සැපයීම වෙළෙඳුන් සතු වගකීමකි.

නමුත්, එම වගකීම කඩකරමින් ජනතාවගේ සෞඛ්‍යයට පවා අහිතකර බලපෑම් එල්ලකරන කූඨ වෙළෙඳුන් ගැන නිරන්තරයෙන් තොරතුරු වාර්තා වේ.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයෙන් සහ හෝකන්දර ප්‍රදේශයෙන් ද එවැනි සිදුවීම් කිහිපයක් වාර්තා විය.

අනුරාධපුර කලා වැව දක්වා ජලය ගලා බසිනා තම්මන් ඇළ දඹුල්ල මහ නගරසභාවේ සෞඛ්‍ය අංශ, යුද හමුදාව සහ ගුවන් හමුදාව එක්ව ඊයේ හදිසි පරීක්ෂාවකට ලක් කළේය.

ඒ මධ්‍යම පරිසර අධිකාරිය විසින් කරනු ලැබූ දැනුම්දීමක් අනුවය.

පරීක්ෂාවේදී අනාවරණ වූයේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වැසිකිළි කැසිකිළි පද්ධති සහ අපජලය තම්මන් ඇළට මුදාහැරෙන බවය.

එමෙන්ම දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳසැල්වල සහ කාණු පද්ධතිවලින් ගලාබසින සෑම අපජල කොටසක්ම මුදා හැරෙන්නේ තම්මන් ඇළට ය.

ආර්ථික මධ්‍යස්ථානයට පැමිණෙන බොහෝදෙනකු වැසිකිළි භාවිත නොකර ඇළට මූත්‍රාකරන අයුරුද මෙහිදී නිරීක්ෂණය විය.

මොවුන් මෙලෙස කාණුවලට සහ තම්මන් ඇළට මූත්‍රා කරන්නේ ආර්ථික මධ්‍යස්ථානය සතුව වැසිකිළි පහසුකම් ද තිබෙන පසුබිමක ය.

මේ අතර ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳසැල් පිටුපස එළවළු පළතුරු ආදිය අපිරිසිදු තත්ත්වයේ ගොඩ ගසා තිබෙන අයුරුද අනාවරණය වූ අතර සෞඛ්‍ය අංශ නිලධාරීන් විසින් වෙළෙඳුන්ට තරයේ අවවාද කරනු ලැබුවේය.

මේ අතර කඩුවෙල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයට අයත් හෝකන්දර ප්‍රදේශයේ ආපනශාලා සහ අලෙවිසැල් අද මහජන සෞඛ්‍ය පරීක්ෂක කොට්ඨාසයේ හදිසි පරීක්ෂාවට ලක් කෙරිණි.

එහිදී නිසි සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන්ගෙන් බැහැරව සැකසූ ආහාර සහ කල් ඉකුත්වූ ආහාර අලෙවිය සඳහා ගබඩාකර තිබූ ස්ථාන කිහිපයක් නිරීක්ෂණය විය.

එහිදී ආපනශාලා සහ අලෙවිසැල් හතකට කඩුවෙල අධිකරණයේ නඩු පැවරීමට කටයුතු කළ අතර ස්ථාන නවයකට පමණ රතු නිවේදනද නිකුත් කළේය.