සයුරෙන් එතෙර
ගාසා නගරය අත්පත් කර ගැනීමේ නෙතන්යාහුගේ තීරණයට එරෙහිව රට පුරා විරෝධතා
August 8, 2025 02:23 pm
ඊශ්‍රායල ආරක්ෂක කැබිනට් මණ්ඩලය ගාසා නගරයේ පාලනය අත්පත් කර ගැනීමේ සැලැස්මක් අනුමත කර ඇති බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය කාර්යාලය පවසා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.
විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ ආරක්ෂක කැබිනට් මණ්ඩලය බහුතර ඡන්දයෙන් මේ සඳහා අනුමැතිය ලැබී ඇති බවය.
වසර දෙකකට ආසන්න කාලයක් ගාසා - ඊශ්‍රායල් යුද ගැටුම් පැවැති අතර මින් පෙර ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු පවසා ඇත්තේ ගාසා තීරය මුළුමනින්ම අත්පත් කර ගැනීමට තමන්ට අවශ්‍ය බවය.
කෙසේ වෙතත් ගාසා නගර අත්පත් කර ගැනීමේ මෙම තීරණයට විරුද්ධව ඊශ්‍රායල ජාතිකයින් රැසක් සිය විරෝධය දක්වා ඇති අතර රට පුරා විරෝධතා රැසක්ද මේ වන විටත් නිර්මාණය වී තිබේ.
එමෙන්ම ලොව පුරා රටවල් රැසක්ද ඊශ්‍රායලයේ මෙම තීරණයට එරෙහිව අදහස් ප්‍රකාශ කර ඇති අතර එමගින් එම රටවල්වල රාජ්‍ය නායකයින් පවසා ඇත්තේ අදාළ තීරණයෙන් තවත් ලේ වැගිරීම් වැඩිවන බවය.
එමෙන්ම හමාස් සංවිධානය විසින් ප්‍රාණ ඇපයට ගෙන ඇති ඊශ්‍රායල ජාතිකයින් අනතුරේ හෙලීමට ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු තීරණය බලපානු ඇති බවත් ප්‍රාණ ඇපකරුවන්ගේ ඥාතීන් රජයට චෝදනා කර තිබේ.
එමෙන්ම මේ සම්බන්ධව අදහස් දක්වා ඇති එක්සත් ජාතීන්ගේ සංවිධානයද අනතුරු අඟවා ඇත්තේ ඊශ්‍රායල හමුදා මෙහෙයුම් පුළුල් කිරීමට රජය ගෙන ඇති තීරණය හේතුවෙන් ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන්ට මෙන්ම පලස්තීන සිවිල් වැසියන්ටද ව්‍යවසනකාරී ප්‍රතිවිපාක ඉදිරියේදී ඇති කරනු ඇති බවය.
තවද ඊශ්‍රායල විපක්ෂ නායකවරයාද මෙම තීරණයට විරෝධය පළ කර ඇති අතර එමගින් ඔහු රජයට චෝදනා කර ඇත්තේ මෙම තීරණය හේතුවෙන් ඉදිරියේදී තවත් බොහෝ ව්‍යවසනයන්ට ඊශ්‍රායලයට මුහුණ දීමට සිදුවනු ඇති බවය.