සයිබර් වංචාවලට සම්බන්ධ චීන ජාතිකයෙකු මෙරටට ඇතුළු වීම වළකා පිටුවහල් කරයි

සයිබර් වංචාවලට සම්බන්ධ චීන ජාතිකයෙකු මෙරටට ඇතුළු වීම වළකා පිටුවහල් කරයි

August 8, 2025   05:12 pm

පිලිපීනයේ සයිබර් වංචා සමාගමක සේවය කළ චීන ජාතිකයෙකු අද (08) දින උදෑසන කටුනායක ගුවන්තොටුපොළෙන් මෙරටට ඇතුළ්වීමට තැත් කිරීමේදි ඔහුව හඳුනාගනිමින් ආපසු පිටුවහල් කිරීමට ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් පියවර ගෙන තිබේ.

මොහු අද උදෑසන 9.45ට පමණ මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට එයාර් ඒෂියා ගුවන් සේවයේ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපොළට පැමිණ තිබුණි.

ඔහු සංචාරක වීසා අනුකාණ්ඩයක් වන ව්‍යාපාරික කාණ්ඩය යටතේ වීසා ලබාගෙන මෙරට ක්‍රියාත්මක සමාගමක සේවය සඳහා පැමිණෙන බව කටුනායක ආගමන විගමන කවුළුව වෙත ප්‍රකාශ කර තිබුණද එහිදී තමන් දරන තනතුර පිළිබඳව පැහැදිලි සහා නිශ්චිත තොරතුරු ලබා දීමට අපොහොසත් වී තිබේ.

ඒ අනුව අදාල චීන ජාතිකයා ගුවන් තොටුපොළ ප්‍රධාන ආගමන විගමන නිලධාරීවරයා මගින් එම දෙපාර්තමේන්තුවේ දේශසීමා අවේක්ෂණ ඒකකය වෙත යොමු කර ඇත.

එහිදී ඔහු සන්තකයේ තිබී පිලිපීන රජය විසින් නිකුත් කළ හැඳුනුම්පතක් සොයා ගැනීමට හැකිව තිබූ අතර එහි පිලිපීනයේ පැරනාකිව් ප්‍රදේශයේ පිහිටි නම් දැරූ පරිගණක වංචා මෙහෙයවන මධ්‍යස්ථානය මෙහු සේවය කර ඇති බවත් අනාවරණය වී තිබේ.

මේ වන විට එම මධ්‍යස්ථානය එරට ආරක්ෂක අංශය විසින් වටලා ඇති බවත් ඒ පිළිබඳව දර්ශන යූටියුම් සමාජ මාධ්‍ය ඔස්සේ ලොව පුරා විකාශනය කර ඇති බවත් එම නිලධාරීන් විසින් අනාවරණය කර ගැනීමට සමත්ව තිබේ.

ඒ අනුව මෙම චීන ජාතිකයා ඔහු පැමිණි ගුවන් යානයෙන්ම ආපසු පිටුවහල් කිරීම සඳහා අදාළ ගුවන් සේවය වෙත භාර දීමට කටුනායක ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් පියවර ගෙන ඇත.