නීතිවිරෝධීව මැණිකක් විකිණීමට ගිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට
August 8, 2025 04:31 pm
රුපියල් කෝටි 50ක වටිනාකමකින් යුත් බව පවසමින් බලපත්‍රයක් නොමැතිව මැණික් ගලක් අළෙවි කිරිමට පැමිණි කුණ්ඩසාලේ ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු ඇතුළු තිදෙනෙකු නුවරඑළිය පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
අදාළ සැකකරුවන් තිදෙනා එම මැණික් ගල මිලදී ගන්නා අයට වාසනාව උදාවන බව පවසමින් එය රුපියල් කෝටි 50කට අළෙවි කිරීමට සූදානම්ව සිට ඇති අතර පොලීසිය උපාය දූතයෙකු ලවා කේවල් කර එම මුදල රුපියල් ලක්ෂ 10ක් දක්වා අඩු කරගෙන තිබේ.
ඒ අනුව එම උපාය දූතයා ලවාම සිදු කළ විශේෂ මෙහෙයුමකින් මෙම පුද්ගලයින් තිදෙනා අත්අඩංගුවට ගෙන ඇත.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මඩවල සහ වත්තේගම ප්‍රදේශයේ පදිංචි අවුරුදු 40-50 වයස් කාණ්ඩවල පසුවන සැකකරුවන් තිදෙනෙකි.
පොලීසිය පැවසුවේ පොලිස් භාරයට ගත් මැණික් ගල ව්‍යාජ එකක්ද යන්න පිළිබදව ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරියෙන් වාර්තාවක් ලබා ගැනීමට පියවර ගෙන ඇති බවය.
කෙසේ වෙතත් අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා නුවරඑලිය මහේස්ත්‍රාත් අධිකරණවෙත ඉදිරිපත් කිරීමට නියමිතය.