මාලේ ගිය නාමල් දිවයිනට

මාලේ ගිය නාමල් දිවයිනට

July 29, 2025   02:57 pm

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා මාලදිවයි‍නේ සංචාරය නිමා කරමින් අද (29) උදෑසන කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණියේය.

එහිදී ඔහුගේ පැමිණීම බලාපොරොත්තුවෙන් නීතීඥවරුන් කිහිප දෙනෙකු සහ දේශපාලන ආධාරකරුවන් පිරිසක් ද කටුනායක ගුවන්තොටුපොළ පරිශ්‍රය වෙත පැමිණ සිටි බව අද දෙරණ වාර්තාකරු පැවසීය.

හම්බන්තොට අධිකරණය මගින් නිකුත් කර තිබෙන වරෙන්තුවකට අනුව නාමල් රාජපක්ෂ මහතාව කටුනායකදී අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බවට පළවූ වාර්තා පදනම් කරගෙන මෙලෙස ඔහුගේ ආධාරකරුවන් පිරිසක් ගුවන්තොටුපොළ පරිශ්‍රයට පැමිණ තිබුණි.

එවන් පසුබිමක් තුළ අද (29) උදෑසන 11:30ට පමණ මාලදිවයිනේ මාලේ නුවර සිට ශ්‍රීලන්කන් ගුවන් සේවයේ යූ.එල්. 102 දරන ගුවන් යානයෙන් නාමල් රාජපක්ෂ මහතා කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබුණි.

පසුව නාමල් රාජපක්ෂ මහතා දහවල් 12:30ට පමණ කටුනායක ගුවන්තොටුපොළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය ඔස්සේ පිටව ගියේය.

2017 වසරේ දී හම්බන්තොට වරාය විදෙස් රටවලට පැවරීමට එරෙහිව පැවති විරෝධතාවකදී අධිකරණ නියෝග නොතකමින් කටයුතු කිරීම සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ඇතුළු පිරිසකට එරෙහිව නඩුවක් ගොනු කර තිබේ.

එම නඩුව ඊයේ (28) කැදවු අවස්ථාවේදී මන්ත්‍රීවරයා අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් මෙලෙස ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස හම්බන්තොට මහෙස්ත්‍රාත් අධිකරණය පොලීසියට නියෝග කර ඇති බව පොලීසිය සඳහන් කළේය.

එවන් පසුබිමක් තුළ විදේශගතවී සිටි නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා මෙලෙස දිවයිනට පැමිණ තිබුණි.