කොස්තාපල්වරයාගේ නිවසේ මත්පෙති ගබඩාවක්
July 29, 2025 11:18 am
සිය නිවස තුළ මත්පෙති ගබඩාවක් පවත්වාගෙන ගිය පොලිස් කොස්තාපල්වරයෙකු ඇතුළු තිදෙනකු රුපියල් කෝටි 2කට ආසන්න වටිනාකමින් යුත් මත්පෙති තොගයක් සමග අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කොහුවල පොලිසියේ රථවාහන අංශයට අනුයුක්තව සේවය කළ කොස්තාපල්වරයෙකි.
අත්අඩංගුවට පත්වූවන් අතර කොස්තාපල්වරයාගේ බිරිඳ සහ මත්පෙති සැපයූ බව කියන පුද්ගලයා ද සිටී.
එම නිවස තුළ ගබඩා කර තිබී මිලිගෑම් 150 මත්පෙති පෙට්ටි 21ක් හා මිලිගෑම් 300 මත්පෙති පෙට්ටියක් සමග සම්පූර්ණ මත් පෙති 1,330,420ක ප්‍රමාණයක් පොලිසිය සිය භාරයට ගෙන ඇත.
බොරලැස්ගමුව බෙල්ලන්විල ජය මාවත ප්‍රදේශයේ තාවකාලිකව පදිංචි කොහුවල පොලිසියේ රථවාහන අංශයට අනුයුක්ත කොස්තාපල්වරයෙක් නිවස තුළ මත්පෙති ගබඩාවක් පවත්වාගෙන යමින් දිවයින පුරා බෙදා හරින බවට මන්නාරම කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට යුද හමුදා බුද්ධි අංශයෙන් ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර ඇත තිබේ.
අත්අඩංගුවට ගත් කොස්තාපල්වරයා වසර 14ක කාලයක් කොහුවල පොලිසියට අනුයුක්තව සේවය කරන්නෙක් බවත් ඔහු මෙම ජාවාරමේ ප්‍රධාන සැකකරු වන ෆාමසි හිමිකරු ලබාදෙන මත්පෙති සිය නිවසේ ගබඩා කර ගනිමින් දිවයිනේ විවිධ ප්‍රදේශවලට මෙම මත් පෙති බෙදා හරිමින් ජාවාරම සිදුකර ඇති බවත් පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
ඒ අනුව මත් පෙති සන්තකයේ තබා ගැනීම, ජාවාරම් කිරීම, එම වරදට ආධාර අනුබල දීම යන චෝදනා යටතේ මෙම සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකාර කොස්තාපල්වරයා සහ බිරිඳ 35 හැවිරිදි වියේ පසුවන බවත් ෆාමසි හිමිකරු වයස අවුරුදු 49ක පුද්ගලයෙක් වන බවත් පොලිසිය සදහන් කළේය.