ගැටුම් මැද න්‍යෂ්ටික සාකච්ඡා ඉරානය ප්‍රතික්ෂේප කරයි

ගැටුම් මැද න්‍යෂ්ටික සාකච්ඡා ඉරානය ප්‍රතික්ෂේප කරයි

June 21, 2025   06:09 pm

ඉරානය සහ ඊශ්‍රායලය අතර පවතින යුද ගැටුම් මැද තම රටට එක්සත් ජනපදය සමග සාකච්ඡා කළ නොහැකි බව ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි පවසා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

එල්ල වන ප්‍රහාර සම්බන්ධව ඉරාන විදේශ අමාත්‍යවරයා පවසා ඇත්තේ ඊශ්‍රායල ප්‍රහාර එල්ලවන පළමු දිනයේ සිටම අමෙරිකාව මේ සඳහා සම්බන්ධ වී සිටි බවය.

එමෙන්ම ඉරානය සහ ඊශ්‍රායලය අතර පවතින ගැටුමට අමෙරිකාව සම්බන්ධ වීම ඉතා භයානක වනු ඇති බවද ඉරාන විදේශ අමාත්‍යවරයා මෙහිදී අනතුරු අඟවා තිබේ.

මේ අතර ඉරානයට එල්ලවන ඊශ්‍රායල ප්‍රහාර හමුවේ තවත් ඉරාන අණදෙන නිලධාරින් දෙදෙනෙකු සහ න්‍යෂ්ටික විද්‍යාඥයෙකු ඝාතනය කළ බව ඊශ්‍රායල ආරක්ෂක අංශ පවසා ඇත.

ඊශ්‍රායලය විසින් මෙලෙස ඝාතනය කර ඇත්තේ කුඩ්ස් බලකායේ පලස්තීන බළකායේ අණදෙන නිලධාරී සයීඩ් ඉසාඩි සහ කුඩ්ස් බළකායේ අවි හුවමාරු ඒකකයේ අණදෙන නිලධාරී බෙහ්නාම් ෂහ්රියාරි නම් නිලධාරීන් දෙදෙනෙකි.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ ඉරානයේ පිටුබලය ලබන සංවිධානවලට විශේෂයෙන් හිස්බුල්ලා සංවිධානයට රහසිගතව ආයුධ යැවීමේ කාර්යය වූ කුඩ්ස් බලකායේ 190 වන ඒකකය භාරව ෂාරියාරි සිටි බවය.

සයීඩ් ඉසාඩි, කොම් හි මහල් නිවාසයකට එල්ල වූ ප්‍රහාරයකින් මිය ගිය අතර බෙහ්නාම් ෂහ්රියාරි, ඊශ්‍රායල දේශසීමාවේ සිට කිලෝමීටර් 1,000 කට වඩා දුරින් බටහිර ඉරානයේ ගමන් කරමින් සිටියදී මිය ගිය බව ඊශ්‍රායල ආරක්ෂක හමුදා සෙනසුරාදා සිය නිල X ගිණුමේ සටහනක් තබමින් පවසා ඇත.

මේ අතර දෙරට අතර යුද ගැටුම් ආරම්භ වූ දා සිට මේ දක්වා ඉරානයේ පුද්ගලයින් 430 දෙනෙකු මියගොස් තවත් පුද්ගලයින් 3,500ක් තුවාල ලබා ඇති බව ඉරාන සෞඛ්‍ය අමාත්‍යාංශය උපුටා දක්වමින් නූර් ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ දින කිහිපයකට පසු ඉරානය විසින් සිය රටේ මරණ සංඛ්‍යාව පිළිබඳව සිදුකළ පළමු නිල යාවාත්කාලීන කිරීම ද මෙය වන බවය.