සබරගමුව විශ්වවිද්‍යාලයේ මතුව ඇති දූෂණ අක්‍රමිකතා සෙවීමට ස්වාධීන පරීක්ෂණ කමිටුවක්
June 6, 2025 06:12 pm
සබරගමුව විශ්වවිද්‍යාලයේ මතුව ඇති සියලු දූෂණ සහ අක්‍රමිකතා සොයාබැලීමට ස්වාධීක පරීක්ෂණ කමිටුවක් පත් කිරීමට පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව නිර්දේශ කර තිබේ.
එහිදී වර්තමාන පාලන අධිකාරියේ කිසිදු නිලදාරියෙක් අදාළ කමිටුවට සම්බන්ධ කර ගැනීමකින් තොරව එම පරීක්ෂණ කමිටුව පත්කර හැකි ඉක්මනින් අදාළ විමර්ශන සිදුකර අවසන් කරන ලෙස අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තිය අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයාට උපදෙස් ලබා දෙන ලදි.
එමෙන්ම මෙහිදී විශ්වවිද්‍යාලයේ දෙවන වසරේ ඉගෙනුම ලබමින් සිටියදී සියදිවි නසාගත් චරිත් දිල්ශාන් සිසුවාගේ සිදුවීම පිළිබඳවද කාරක සභාවේ දීර්ඝ ලෙස සාකච්ඡා වී තිබේ.
එහිදී එම සිදුවීමට පාදක වූ විශ්වවිදශාලයේ පැවැත්වූ අවුරුදු උත්සවය පිළිබඳව අදහස් දක්වමින් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය විනය පාලකවරයා එම සංවිධානය කෙරුණු අවුරුදු උත්සවය පිළිබඳව පාලනාධිකාරිය විසින් තමන්ව දැනුවත් නොකළ බවත් නිසි ක්‍රමවේදයෙන් පරිබාහිරව එම අවුරුදු උත්සය සඳහා අනුමැතිය ලබා දී ඇති බවත් පවසා ඇත.
එමෙන්ම ශිෂ්‍ය නේවාසිකාගාර තුළ ඉදිරියේදී ඇතිවිය හැකි තත්ත්වයන් පිළිබඳව ද පාලනාධිකාරියට ලිඛිතව දැනුම්දී තිබූ බවද ශිෂ්‍ය විනය පාලකවරයා කාරක සභාව හමුවේ පවසා තිබේ.
මේ අතර 2022 වසරේදී ඉඹුල්පේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකුගේ ඉල්ලීමකට කොන්ත්‍රාත්කරුවෙකු සඳහා විශ්වවිද්‍යාල භූමියෙන් පස් කියුබ් 500ක ප්‍රමාණයක් නොමැිලේ කපාගෙන යාමට අවසර ලබා දීම පිළිබඳ සිදුවීමට මෙහිදී සාකච්ඡා කෙරිණි.
එහිදී පාලනාධිකාරිය විසින් මෙලෙස පස් කපාගෙන යාමට අදාළ අභ්‍යන්තරව අවසර ලබා දුන්නද පසුව එය වැරදි ක්‍රියාවක් යැයි හැඟි යාමෙන් පසු නිසි අවසරය අදාළ කොන්ත්‍රාත්කරුට ලබා නොදුන් බව විශ්වවිද්‍යාල බලධාරීන් මෙහිදී පැවසීය.
කෙසේ වෙතත් 2022.10.19 වැනි දින අදාළ කොන්ත්‍රාත්කරු මෙලෙස පස් කපාගෙන යාම සම්බන්ධව විශ්වවිදයාලේ ආරක්ෂක අංශ පාලනාධිකාරිය දැනුවත් කළද විශ්වවිද්‍යාල පාලනාධිකාරිය විසින් එම සිදුවීම පිළිබඳව පොලීසියේ පැමිණිල්ලක් ගොනු කර ඇත්තේ 2024 වසරේදී පවත් කාරක සභාවේදී අනාවරණය විය.
මේ අතර විශ්වවිද්‍යාලයේ පාඨමාලා සඳහා ලියාපදිංචි වන සිසුන් පිළිබඳවද කාරක සභාවේදී සාකච්ඡා වූ අතර එහිදී අදහස් දක්වමින් නිලධාරීන් පෙන්වා දුන්නේ සමස්ථයක් ලෙස වාර්ෂිකව විශ්වවිද්‍යාල වරම් ලබන සිසුන්ගෙන් 7,000කට ආසන්න ප්‍රමාණයක් පළමු අවස්ථාවේ ලියාපදිංචි නොවන බවය.
කෙසේ වෙතත් වට කිහිපයක් ලියාපදිංචි කිරීමෙන් පසු අදාළ පුරප්පාඩු සංඛ්‍යාව සම්පුර්ණ කිරීමට කටයුතු කරන බවත් එම නිලධාරීන් කාරක සභාව හමුවේ පවසා තිබේ.
තවද 2014 වසරේදී රුපියල් මිලියන 123 කට වඩා වැඩි මුදලක් වැයකර විශ්වවිද්‍යාලයේ ක්‍රීඩා පිටිය සහ ක්‍රීඩාගාරය ඉදිකර තිබුණද ක්‍රීඩා පිටියේ ජලය රැඳී තිබීම, බොරළු මිශ්‍ර පස් සේදී යාම නිසා මතුපිට රළු ස්වභාවයක් ගැනීම හා පැති බැම්ම පුපුරා යාම ආදී ගැටලු රැසක් පැන නැගී තිබු බව විගණන කාර්යාලය විසින් පෙන්වා දෙන ලදී.
ඒ අනුව කෝප් කමිටුව දුන් පෙර නිර්දේශ මත ක්‍රීඩාපිටියේ පැති බැම්ම හා ක්‍රීඩාගාරය, ඉංජිනේරු කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශන කාර්යාංශය ( CECB) විසින් පිළිසකර කර විශ්වවිද්‍යාලය වෙත බාරදී තිබුණද ක්‍රීඩා පිටිය නිසි ලෙස භාරගෙන නඩත්තු නොකරන බව විගණනය විසින් පෙන්වා දෙන ලදී.
ඒ හේතුවෙන් ක්‍රීඩා පිටියේ ජලය රැඳී තිබීම හා මතුපිට රළු ස්වභවය හේතුවෙන් සිසුන්ට ක්‍රීඩා කිරීමේදී දැඩි අපහසුතාවන්ට මුහුණ පෑමට සිදුව ඇති බවද කාරක සභාවේදී අනාවරණය විය.
මේ සම්බන්ධව කරුණු විමසීමේදී විශ්වවිද්‍යාලයේ පාලනාධිකාරිය විසින් පෙන්වා දුන්නේ එම ප්‍රදේශයේ පවතින භෞතික පිහිටීම මත ක්‍රීඩා පිටියේ වේයන්ගේ පස් තැනින් තැන මතුවන බවය.
මෙහිදී අදහස් දක්වමින් කාරක සභා සභාපතිවරයා මෙම ක්‍රීඩාංගණය නඩත්තු කිරීම සඳහා නිශ්චිත පුද්ගලයෙකුට වගකීමක් සහිතව භාර නොදීම පිළිබඳව විමසා සිටියේය. එමෙන්ම මෙවැනි විශාල ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වන විට එය අධීක්ෂණය කිරීම සඳහා ඉංජිනේරුවරයෙකු ස්ථිරව පත් නොකොට වැඩ ඉංජිනේරුවරයෙකු මාර්ගයෙන් අදාළ අධීක්ෂණ කටයුතු සිදුකිරීම පිළිබඳවද විගණනය විසින් පෙන්වා දුන් කරුණ පිළිබඳවද විමසා සිටියේය.
ඒ සඳහා පිළිතුරු දෙමින් විශ්වවිද්‍යාලයේ වැඩ ඉංජිනේරුවරයා පෙන්වාදුන්නේ තමන්ට උපකුලපතිවරයා විසින් එම රාජකාරිය නොපැවරූ බවය.
කෙසේ වෙතත් මෙම ක්‍රීඩාපිටිය නඩත්තු කිරීම සඳහා වරෙක පිරිසිදු කිරීමේ අංශයට භාරදී ඇති අතර වර්තමානය වනවිට ක්‍රීඩා අංශයට බාර දී ඇති බව කාරක සභාවේදී අනාවරණය විය.
මේ අතර විශ්වවිද්‍යාලයේ කාර්ය මණ්ඩලය සඳහා නිවාස සංකීර්ණයක් ඉදිකිරීමේදී වැඩ ඉංජිනේරුවරයාගේ සහතිකය මත අදාළ කොන්ත්‍රාත්කරු ඉල්ලුම් නොකළ ලක්ෂ 26කට අධික මුදලක් ලබා දී ඇති බවද මෙහිදී අනාවරණය විය.
එමෙන්ම විශ්වවිද්‍යාලයේ නව පුස්තකාල ගොඩනැගිල්ල ඉදිකිරීමේදී අදාළ කොන්ත්‍රාත්කරු විසින් ගිවිසුම්ගත වැඩ පැහැර හැර, ඉදිකිරීම් වැඩ නවතාදමා තිබියදී අත්තිකාරම් බැඳුම්කරය මුදල් කර නොගැනීම හේතුවෙන්ද රුපියල් ලක්ෂ 288කට අධික මුදලක අලාභයක් සිදුව ඇති බව විගණන කාර්යාලය පෙන්වා දී තිබු අතර එම අලාභය වෙනුවෙන් අධිභාර නිවේදනයක්ද නිකුත් කර තිබුණත් මේ වනවිටත් එය අධිභාර කරගෙන නොතිබුණි.
කෙසේ වෙතත් මෙවැනි තත්ත්වයක් නැවත සිදු නොවීම උදෙසා සියලු ඉදිකිරීම් ව්‍යාපෘති ක්‍රමවත්ව අධීක්ෂණය කිරීම සඳහා ව්‍යාපෘති කළමනාකාරවරයෙකු බඳවා ගැනීමට කටයුතු කර තිබු නමුත් ඔහුද මාස 4කට අඩු කාලයක් පමණක් සේවය කර ඉල්ලා අස්වී ඇති බව කාරක සභාව මෙහිදී පෙන්වා දෙන ලදී. එමෙන්ම සේවා පහසුකම් වල පවතින ඌනතා ලබාදෙන ලෙස ඉල්ලීම් කලද එම ඉල්ලීම් ඔහුට නොලැබීම හේතුවෙන් ඉල්ලා අස්වීම පිළිබඳවද කාරක සභාව තුල දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.