අවාර සමයෙත් ලංකාවට සංචාරකයින් ගේන්න සැලසුම් 

අවාර සමයෙත් ලංකාවට සංචාරකයින් ගේන්න සැලසුම් 

June 6, 2025   08:41 pm

අවාර සමයේදී ද සංචාරකයන් ආකර්ෂණය කර ගැනීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රධාන පාර්ශ්වකරුවන් අතර ජනාධිපති කාර්යාලයේදී අද (06) පස්වරුවේ පැවැත්විණි.

අවාර සමය තුළ  ශ්‍රී ලංකාව සංචාරක ආකර්ෂණීය ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීම, ඩිජිටල් අළෙවිකරණ ක්‍රමවේද භාවිතයෙන් ශ්‍රී ලංකා සංචාරක සන්නාමය ඉහළට ඔසවා තැබීම, සංචාරක කර්මාන්තයට අවශ්‍ය කුසලතා හා පුහුණුව ඇති කිරිමෙන් එම ක්ෂේත්‍රයේ මානව සම්පත වැඩිදියුණු කිරීම හා සංචාරක කර්මාන්තයට විදෙස් ආයෝජන ආකර්ෂණය කිරීම පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.

සංචාරක ක්ෂේත්‍රයේ පවතින ගැටලු සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමු වූ අතර, එම කර්මාන්තය දියුණු කිරීම සඳහා දැනට සංචාරක ප්‍රවර්ධන කාර්‍යාංශය ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව පාර්ශ්වකරුවන් දැනුවත් කිරීමද සිදු කරන ලදී.

සංචාරක කර්මාන්තය ආශ්‍රිත සියලු අංශ ඒකාබද්ධ කරමින් ජනාධිපති කාර්යාලය මූලික කරගත් ඒකකයක් පිහිටුවීමට අපේක්ෂා කරන බව එහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රජයේ Clean Sri Lanka වැඩසටහන සංචාරක ක්ෂේත්‍රයේ පාර්ශ්වකරුවන්ගේ ඇගයීමට ලක් වූ අතර, එය සංචාරක ප්‍රවර්ධනය සඳහා ඒකාබද්ධ කර ගැනීම පිළිබඳවද සාකච්ඡාවට ලක් කෙරිණි.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ, ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සභාපති බුද්ධික හේවාවසම්, ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන ක්‍රියාකරුවන්ගේ සංගමයේ සභාපති නලින් ජයසුන්දර යන මහත්වරුද, සංචාරක හෝටල් හිමිකරුවන් ඇතුළු සංචාරක ක්ෂේත්‍රයේ ව්‍යාපාරිකයෝ හා ආයෝජකයෝ පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.