කෝටි 7කට අධික කුෂ් තොගයක් සමඟ සිව්දෙනෙක් කොටු වූ හැටි

කෝටි 7කට අධික කුෂ් තොගයක් සමඟ සිව්දෙනෙක් කොටු වූ හැටි

May 22, 2025   10:34 am

රුපියල් කෝටි 7කට අධික වීථි වටිනාකමකින් යුතු ''කුෂ්" මත්ද්‍රව්‍ය තොගයක් නීතිවිරෝධීව මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගීන් සිව්දෙනෙකු  ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සැකකරුවන් ඊයේ (21) පස්වරුවේ ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන ඇත.

මෙම පිරිස අතර අඹුසැමි යුවළක්, කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙක් සිටි.

මොවුන් මෙම මත්ද්‍රව්‍ය තොගය තායිලන්තයෙන් මිළදී ගෙන ඇති අතර පසුව ඉන්දියාවේ බැංගලෝර් නුවර වෙත ගොස් එතැන් සිට ඉන්ඩිගෝ ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබුණි.

පසුව මෙම සැකකරුවන් කටුනායක ගුවන් තොටුපොළේ ව්‍යාපාරිකයන් සඳහා වන  "රක්ත මාවත" ( Red Channel) ඔස්සේ මත්ද්‍රව්‍ය තොගය පිට කර ගෙන යාමට තැත්කළ බව සඳහන් වේ.

සැකකාරි කොළඹ - 02 ප්‍රදේශයේ පදිංචි 57 හැවිරිදි ව්‍යාපාරික කාන්තාවක් වන අතර අනෙක් සැකකරු කොළඹ - 15 ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකි.

අඹුසැමි යුවළ කොළඹ වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් බව වාර්තා වේ.

සැකකරුවන් විසින් ඔවුන්ගේ ගමන්මලු 04ක ඉතාම සූක්ෂම ලෙස සකස් කළ ව්‍යාජ පතුල් තුළ මෙම " කුෂ්" මත්ද්‍රව්‍ය තොගය සඟවා තිබු බව රේගු නිලධාරීන් පවසයි.

එහි තිබී  "කුෂ් " මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 07 යි ග්‍රෑම් 150 ක ප්‍රමාණයක් සොයාගෙන ඇත.

 මෙසේ අත් අඩංගුවට ගත් පිරිස සමග මෙම මත්ද්‍රව්‍ය තොගය මේ පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු සදහා කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබේ.