සයුරෙන් එතෙර
ට්‍රම්ප්ගේ දරුණු වාග් ප්‍රහාරය හමුවේ සන්සුන් වූ රමෆෝසා
May 22, 2025 02:53 pm
වොෂින්ටන් නුවර ධවල මන්දිරයේ ඕවල් කාර්යාලයේදී ජනපති ට්‍රම්ප් සහ යුක්‍රේන ජනාධිපති වොලොඩොමීර් සෙලෙන්ස්කි අතර පසුගිය පෙබරවාරියේ ඇති වු ඝට්ටනය පුනරූපනය වීමක් ඊයේ (21) නැවතත් දක්නට ලැබුණි.
මෙවර ජනපති ට්‍රම්ප් සමග සංවාදයට එක්වුණේ දකුණු අප්‍රිකානු ජනපති සිරිල් රමෆෝසා ය.
දකුණු අප්‍රිකානු ජනාධිපතිවරයා, ජනප්‍රිය දකුණු අප්‍රිකානු ගොල්ෆ් ක්‍රිඩකයන් දෙදෙනෙකු සහ ප්‍රකෝටිපතියෙකු ද ඔහු සමග රැගෙන ආවේය.
ඔවුන් දකුණු අප්‍රිකානු සුදු ජාතිකයන්ය.
ගොල්ෆ් ක්‍රීඩා ලෝලියෙකු වු ජනපති ට්‍රම්ප් එම ක්‍රිඩකයන් දෙදෙනා රැගෙන එන ලෙස දකුණු අප්‍රිකානු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබු බව වාර්තාවේ.
අර්නි එල්ස් සහ රෙටිෆ් ගූසන් නමැති එම ගොල්ෆ් ක්‍රිඩකයන් දෙදෙනා හා ප්‍රකෝටිපති යොහාන් රූපට් දකුණු අප්‍රිකානු ජනපති සිරිල් රමෆෝසා වෙනුවෙන් එහිදී පෙනී සිටියේය.
දකුණු අප්‍රිකා සුදු ජාතික ගොවිපල හිමියන්ට එරෙහි ඝාතන රැල්ලක් ක්‍රියාත්මක වන බවට ජනපති ට්‍රම්ප් මීට පෙර චෝදනා නඟා තිබුණි.
ඔහු එය හඳුන්වා තිබුනේ සුදු ජාතික ජන සංහාරයක් විදියට ය.
ඒ වගේම දකුණු අප්‍රිකාවේ සුදු ජාතික ගොවීන්ගේ ගොවිබ්ම් කළු ජාතික බහුතර බලය සහිත රජය විසින් පවරා ගන්නා බවටද ඔහු චෝදනා කළේය.
ඒ නිසයි අමෙරිකාවෙන් නීතිවිරෝධී සංක්‍රමණිකයන් දහස් ගණනක් පිටුවහල් කරද්දි දකුණු අප්‍රිකානු සුදු ජාතිකයන් 59 දෙනෙකුට අමෙරිකාවේ සරණණාගතභාවය ලබාදෙන්න ජනපති ට්‍රම්ප් කටයුතු කළේය.
දකුණු අප්‍රිකාවේ දෙවැනි විශාලතම වෙළෙඳ සහකරු අමෙරිකා එක්සත් ජනපදය වුවත්, ජනපති ට්‍රම්ප් පසුගියදා ප්‍රකාශයට පත් කළ අනෝන්‍ය තීරුබදුවලදී දකුණු අප්‍රිකාවට 30%ක ඉහළ තීරු බද්දක් පැනවුයේය.
ජනපති සිරිල් රමෆෝසා ඇතුළු කණ්ඩායම ධවල මන්දිරයේ ඕවල් කාර්යාලයට ඇතුළු වුනේ දෙරට අතර වෙළෙඳාමේ යම් එකඟතාවක් ඇතිකර ගැනීමේ අරමුණින්ය.
නමුත් ධවල මන්දිරය ජනපති ට්‍රම්ප් වෙනුවෙන් ඕවල් කාර්යාලය සකසා තිබුනේ දකුණු අප්‍රිකානු නායකයාට ප්‍රබල ප්‍රහාරයක් එල්ල කිරීමට පහසුවන ආකාරයටය.
බලාපොරොත්තු වු ආකාරයෙන්ම මෙහිදී ජනපති ට්‍රම්ප් උද්වේගකාරී ලෙසින් තමන්ගේ චෝදනා ඉදිරිපත් කරගෙන ගොස් තිබේ.
සාමාන්‍යයෙන් ඕවල් කාර්යාලයේ රූපවාහිනි තිරයක් නැතත් මේ අවස්ථවේ විශේෂයෙන් එහි රූපවාහිනී යන්ත්‍රයක් ගෙනවිත් තිබු බව වාර්තා වේ.
ජනපති ට්‍රම්ප්ගේ ඉල්ලීම අනුව එහි විදුලි පහන් නිවා විඩියෝ පටයක් ප්‍රදර්ශනය කිරීම ආරම්භ කර තිබේ.
එහි දර්ශනය වු සුසාන භූමියක කුරුස සලකුණු සුදු ජාතිකයන් සොහොන් කොත් ලෙස හැඳින්වු ජනපති ට්‍රම්ප් දකුණු අප්‍රිකාවේ සුදු ජාතික සංහාරයක් සිදුවන බවට එය සාක්ෂියක් බව ප්‍රකාශ කළේය.
සැබැවින්ම එම විඩියෝවෙන් දක්වා ඇත්තේ 2020 වසරේ සැප්තැම්බරයේ දකුණු අප්‍රිකානු ගොවිපලකදී පුද්ගලයින් දෙදෙනෙකු ඝාතනයට ලක්වීමේ සිද්ධියකට එරෙහිව පැවති විරෝධතාවකි.
එහිදී කුරුස මඟින් ඊට පෙර වසර ගණනක් පුරා ඝාතනයට ලක්වු පුද්ගලයින් සංකේතවත් කෙරුණත් ඒවා සැබෑ සොහොන් කොත් නොවන බව අනාවරණය වී තිබේ.
දකුණු අප්‍රිකාවේ සුදු ජාතික ජනසංහාරයක් ක්‍රියාත්මක වන නිසා ඔවුන් අමෙරිකාවට පැමිණෙන බව ජනපති ට්‍රම්ප් මෙහිදී කියා සිටියේය.
ඔවුන්ගේ ඉඩකඩම් රජය විසින් කොල්ලකන බවත් ජනපති ට්‍රම්ප් චෝදනා කළේය.
ජනපති ට්‍රම්ප්ගේ ආක්‍රමණශීලී වාග් ප්‍රහාර හමුවේ සන්සුන්ව පිළිතුරු ලබාදුන් දකුණු අප්‍රිකානු ජනපති රමෆෝසා කියා සිටියේ, නෙල්සන් මැන්ඩෙලා ගොඩනැගූ නව දකුණු අප්‍රිකාවේ එලෙස කිසිදු ජනකොටසකට අසාධාරණයක් සිදු නොවන බවය.
දකුණු අප්‍රිකාවේ සුදු ජාතිකයන් සංහාරයකට ලක්වන බවට ජනපති ටුම්ප් චෝදනා නඟද්දී, දකුණු අප්‍රිකානු ජනාධිපතිවරයා පවසා ඇත්තේ එවැන්නක් සිදුවන්නේ නම්, ඔහු සමග එම සුදු ජාතික ගොල්ෆ් ක්‍රිඩකයන් දෙදෙනා නොපැමිණෙනු ඇති බවය.
පසුව ධවල මන්දිරයේදී වාර්තාකරුවන්ට අදහස් දැක්වු ගොල්ෆ් ක්‍රිඩක අර්නි එල්ස් පවසා ඇත්තේ දකුණු අප්‍රිකාවේ වර්ණභේදවාදය අවසන් කළ නෙල්සන් මැන්ඩෙලා සිරමැදිරියෙන් එළියට ආවේ වෛරය සිත රඳවාගෙන නොවන බවය.
ඔහු යටතේ රට වඩාත් එකමුතු කිරීමට හැකිවී ඇති බවද අර්නි එල්ස් පෙන්වාදී තිබේ.
ජනපති රමෆෝසා එහිදී පවසා ඇත්තේ කිසිවෙකු ඇසීමට කැමති දෑ පමණක් පැවසීම තම අරමුණ නොවන බවය.
දකුණු අප්‍රිකාවේ වර්ණභේදවාදය 1994 වසරේ අවසන් වුවත් එරට ජනවර්ග අතර අසාමාන්‍යතාව තවමත් උග්‍ර ලෙසින් දැකිය හැකි වේ.
එරට ජනගහනයෙන් 84%ක් කළු ජාතිකයන්. සුදු ජාතික ජනගහනය 7.3%ක් පමණයි.
එහෙත් දකුණු අප්‍රිකාවේ බහුතර කළු ජාතිකයන්ට වඩා අදත් වැඩි වරප්‍රසාද භූක්ති විඳින්නේ සුදු ජාතික ජන කොටසයි.
ලෝක බැංකුව ප්‍රකාශ කරන ආකාරයට ලෝකයේ ජනප්‍රජාවන් අතර වැඩිම විෂමතාවන් පවතින රට තමයි දකුණු අප්‍රිකා ව.
එරට සුදු ජාතිකයන් ජන සංහාරයකට ලක්වන බවට මිත්‍යා මතයක් පැතිර යන්නේ 1994 වසරේ වර්ණභේදවාදය නිමාවු දා සිටමයි.
එය ගෝලීය අන්ත දක්ෂිණාංශික කණ්ඩායම් අතර සංසරණය වු මතවාදයක්.
ඊට ජනපති ට්‍රම්ප්ගේ ප්‍රධානතම සගයෙකු වන ඊලොන් මස්ක්ගේද සහාය හිමිවනවා.
දකුණු අප්‍රිකාවේ ප්‍රාදේශීය වතුයායන් ආශ්‍රිතව සිදුවන ගොවිපල මරණ සුදු ජාතිකයන්ට එරෙහි සංවිධානාත්මක ප්‍රචණ්ඩත්වය ක්‍රියාත්මකවීමක් ලෙස ඔවුන් හඳුන්වනවා.
ඒ සඳහා දකුණු අප්‍රිකාවේ කළු ජාතික රජයේ සහාය ලැබෙන බවටද ඔවුන් චෝදනා එල්ල කරනවා.
කෙසේ නමුත් දකුණු අප්‍රිකාවේ සිදුවන මිනීමැරුම්වල වින්දිතයන් බහුතරයක් කළු ජාතිකයන් බව තහවුරු වී ඇති කරුණක්.
දකුණු අප්‍රිකාව ලෝකයේ මිනීමැරුම් අනුපාතය ඉතා ඉහළ රටක්.
එරට ජනතාව අතර පවතින ආදායම් විෂමතාව සහ දුගීභාවයද ඊට හේතුවක්.
මිලියන 60ක පමණ ජනගහනයක් සහිත දකුණු අප්‍රිකාවේ දිනකට සාමාන්‍ය මිනීමැරුම් 72ක් පමණ සිදුවනවා.
ඉන් බහුතරයක් කළු ජාතිකයන්.
2024 වසරේදී දකුණු අප්‍රිකානු පොලිසිය රටපුරා මිනිමැරුම් 26,232ක් වාර්තා කර තිබෙනවා.
ඉන් 44ක් ගොවිපළ ප්‍රජාව හා සම්බන්ධ මරණයි.
මියගොස් ඇති ගොවීන් සංඛ්‍යාව 8ක්.
වර්ණභේදවාදය අවසන් වී වසර 30ක් ගතවී ඇතත් එරට බහුතර කළු ජාතික ප්‍රජාවන්ට තවමත් ආර්ථික වශයෙන් නැඟී සිටීමටහැකි වී නැහැ.
දකුණු අප්‍රිකාවේ කළු ජාතිකයන්ගේ රැකියාව 36.5%ක් වද්දි සුදු ජාතිකයන්ගේ රැකියාව සටහන් වන්නේ 7.7%ක් ලෙස.
එරට ගොඩබිම් ඇතුළු ඉඩකඩම්වලින් 70%ක් තවම පවතින්නේ සුදු ජාතිකයන් සහ විදේශිකයන් අත 84%ක් වු කළු ජාතිකයන්ගේ හිමිකාරීත්වය සහිත ඉඩම් ප්‍රමාණය 4% ඉක්මවන්නේ නැහැ.
මේ තත්ත්වය යටත් සුදු ජාතිකයන් සතු දැනට භාවිතයට නොගන්න ඉඩම් පවරාගෙන ගොවිපල ප්‍රජාවන්ට ලබාදීමේ නීතියක් පසුගියදා ක්‍රියාත්මක කරනු ලැබීය.
ජනපති ට්‍රම්ප් දකුණු අප්‍රිකාවේ සුදු ජාතිකයන් සතු ඉඩම් කොල්ලකෑමට ලක්වන බවට මතු කරන්නේ එම සිද්ධියයි.
දකුණු අප්‍රිකානු ජනපති රමෆෝසා ඇතුළු කණ්ඩායම මෙහිදී අමෙරිකා එක්සත් ජනපදය සමග නව වෙළෙඳ එකඟතාවක් සඳහා යෝජනා පෙළක්ද ඉදිරිපත් කර තිබේ.
දකුණු අප්‍රිකාවෙන් බිහිවු එහෙත් දකුණු අප්‍රිකාවට අභියෝග කරන ඊලොන් මස්ක් තමාගේ ටෙස්ලා මෝටර් රථ සඳහා දකුණු අප්‍රිකානු වෙළෙඳපොළ විවෘත කරන ලෙස ඉල්ලා ඇත.
එහෙත් ඔහුගේ ස්ටාර්ලින්ක් චන්ද්‍රිකා සංනිවේදන පද්ධතිය දකුණු අප්‍රිකාවට හඳුන්වාදීම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා වී නොමැති බව වාර්තා වේ.