2025 වසරේ ගතවූ කාලය තුළ වෙඩි තැබීම් 46ක්

2025 වසරේ ගතවූ කාලය තුළ වෙඩි තැබීම් 46ක්

May 19, 2025   05:53 pm

මේ වසරේ ගතවූ කාලය තුළ වෙඩි තැබීමේ සිදුවීම් 46ක් වාර්තා වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා පවසයි.

අද (19) පැවති මාධ්‍ය හමුවකදී ඔහු සඳහන් කළේ ඉන් සිදුවීම් 31ක්ම සංවිධානාත්මක අපරාධ කල්ලිවල මෙහෙයවීමෙන් සිදුව ඇති බවය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා සිටියේ, සංවිධානාත්මක අපරාධ කල්ලිවල මෙහෙයවීමෙන් සිදුකළ වෙඩි තැබීමේ සිදුවීම් 31ක සඳහා සැකකරුවන් 100කට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බවය.

ඒ අනුව මෙම වෙඩි තබා ගැනීමේ සිදුවීම් සඳහා භාවිතකරන ලද ගිනිඅවි 41ක් පොලිස් භාරයට ගෙන ඇති බව බවත් එම ගිනිඅවිවලින් 27ක් පිස්තෝල වර්ගයේ ගිනිඅවි බවත් අනෙක් 14  ටී-56 වර්ගයේ ගිනිඅවි බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශවරයා  පැවසීය.

"පසුගිය දිනකදී ගල්කිස්ස ප්‍රදේශයේදී 19 හැවිරිද තරුණයෙකට පසුපස හඹාගොස් වෙඩි තබා ඝාතනය කිරීමේ සිදුවීමක් වාර්තා වුණා එම සිදුවීම මැයි මස 05 දින තමයි වාර්තා වුණේ. එම සිදුවීමෙන් පසු ගල්කිස්ස අපරාධ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශ විසින් තාක්ෂණික ක්‍රමවේද භාවිතාකරලා විමර්ශනයකින් අනතුරුව ඊට අදාළ පැදිකරු මෙන්ම ඝාතනයට පැමිණි වෙඩික්කරු අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබුණා." 

"එම වෙඩික්කරු මීට පෙර 2024.09.20 වන දින දෙහිවල ප්‍රදේශයේ සිදුකළ වෙඩිතැබීමේ සිදුවීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමක් සිදුකළ අයෙක්. එම වෙඩිතැබීමේ වෙඩික්කරු වශයෙන්ද කටයුතු කර ඇත්තේ ඔහුය. ඒ අනුව 2024.09.20 සිදුකළ වෙඩි තැබීමට ඔහු අපි අත්අඩංගුවට ගැනීමක් සිදුකරනවා. ඒ වගේම වෙඩි තැබීමේ සිදුවීම සඳහා පැමිණි පැදිකරු සහ ගිනිඅවිය අපගේ භාරයට ගෙන විමර්ශනයෙන් අනතුරුව 2024 නොවැම්බර් 19 වන දින මෙම සැකකරු අපි අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරනවා. එහිදී වෙඩික්කරු විසින් ඉදිරිපත්කළ ඇප අයදුම්පතක් පිළිගැනීමෙන් පසු 2025 අප්‍රේල් 17 වන දින ඇප නියම කිරීමක් සිදුකරනවා.  ඒ අනුව ඔහු ඇප ලබා පැමිණීමෙන් පසු මාසයක් ගතවීමට පෙර මැයි මස 05 වන දින ඔහු වෙඩි තැබීමේ සිදුවීමට සම්බන්ධ වෙලා එහි වෙඩික්කරු ලෙස කටයුතු කරනවා.ඒ අනුව නැවත වතාවක් ඔහු අත්අඩංගුවට ගැනීමක් සිදුකළා සහ ඔහු ඉදිරියෙදී අධිකරණයට ඉදිරිපත්කළ නීතිමය කටයුතු සිදුකිරීමට පොලීසිය පෙස අපි ක්‍රියාකරවා."