යුද තත්ත්වයෙන් පසු මෙරට හමුදාව ගැන සරත් ෆොන්සේකා දුටු අයුරු

යුද තත්ත්වයෙන් පසු මෙරට හමුදාව ගැන සරත් ෆොන්සේකා දුටු අයුරු

May 19, 2025   04:58 pm

මෙරට පැවැති යුදමය වාතාවරණයෙන් පසුව මෙරට හමුදාවේ ප්‍රගතියක් තමන්ට දක්නට නොලැබුණු බව හිටපු හමුදාපති ෆීර්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

ජාතික රණවිරු දිනය නිමිත්තෙන් අද දෙරණ Big Focas විශේෂ වැඩසටහන හා සම්බන්ධ වෙමින් ෆීර්ඩ් මාර්ශල් සරත් ෆොන්සේකා මහතා පැවසුවේ යුද්දය පැවැති සමයේ තිබූ යුද ටැංකි ද අතුරින් සැලකිය යුතු ප්‍රමාණයක් මේ වන විට විනාශ වී ඇති බවය. 

"මම හෘද සාක්ෂියට එකඟව පිළිගන්නේ නෑ යුද්දේ ඉවර වුණාට පස්සේ අවුරුදු 16ක් ගිහිල්ලා හමුදාවේ තත්ත්වයේ යම්කිසි ප්‍රගතියක් ලැබුවා කියලා. මම එක උදාහරණයක් දෙන්නම් මම යුද්දේ කරන කොට මට තිබුණා යුද ටැංකි 80ක්. ඒක 30කට බැස්සා යුද්දේ ඉවර වෙනකොට 50ක් විනාශ වෙලා. අද වෙනකොටත් යුද හමුදාවේ ඒ යුද ටැංකි 30 විතරයි තියෙන්නේ. රෙජිමේන්තුවලට යුද ටැංකි අවශ්‍යයි. මිනිස්සු විතරක් ඉඳලා මදි සන්නා සන්නද්ධ බල ඇණියක් ගත්තොත්. 

එතකොට විනාශ වුණ 50 වෙනුවට 50ක් ගෙනත් දෙන්න ඕන නේ. එහෙමවත් උනන්දුවක් ගත්තේ නෑ. අයවැයක් ගෙනාවාම අයවැය පාලනය කරගන්නවා... මම එක්ලක්ෂ දාසයදාහේ හමුදාවට දුන්න අයවැයම තමයි මම ලක්ෂ දෙකේ හමුදාවත් නඩත්තු කළේ. කළේ. එකෙන් අදහස් කරන්නේ නෑ වියදම් කපන්න පුළුවන් කියලා. 

මට ඇහෙනවා ආර්ථික විශේෂඥයොත් කියනවා හමුදාව ලොකු වැඩියි වියදම් කපන්න ඕනේ වගේ කතා. හැබැයි ඒ වගේ මානසිකත්වයෙන් හමුදාව සහ ආරක්ෂාව ගැන බලන්න බෑ. ඒවා ලෝකේ අනිත් රටවල් එක්ක තාක්ෂණිකව, පුහුණුව අතින් ඉදිරියට යන්න ඕනේ. 

සිංගප්පූරුව කියන්නේ ජනගහනය මිලියන 3.5යි. ඒ රටේ මිලියන 3කට යුද පුහුණුව දීලා තියෙනවා. ඕනම රටක් සූදානම් වෙලා තියෙන්න ඕනේ. 

යුද ටැංකියක් ගන්න අවුරුදු දෙකක් යනවා. විශේෂ කාර්ය බළකායේ සෙබලෙක් හදන්න අවුරුදු දෙකක් යනවා, කමාන්ඩෝ සෙබලෙක් පුරුදු කරන්න අවුරුදු දෙකක් යනවා. යුද්ධය කියන්නේ බෝම්බ වැටෙන්න පටන් ගත්තාම කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඕනම වෙලාවක අපි සූදානම් වෙලා ඉන්න ඕනේ. 

මම හිතන්නේ අපේ රටේ යුද හමුදාවට තියෙන බජට් එක මේ කලාපෙම තියෙන අඩුම බජට් එක වෙන්න ඇති. එහෙම එකේ ආර්ථික විශේෂඥයෝ කියන කතා අනුව ආරක්ෂාවත් දිය කරලා හැරියොතින් ඉතිං.. අපිට දැනට තියෙන ටිකත් එච්චරයි

මේ අතර මෙම වැඩසටහන හා එක් වෙමින් ෆීර්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පැවසුවේ මිනිසුන් වෙනසක් සඳහා පෙළ ගැසුනද එම වෙනස 100%ක්ම සිදුවී ඇතැයි තමන් නොසිතන බවය.

"මම පහුගිය මැතිවරණවලදි කිව්වා පක්ෂවල වහල්ලු වගේ ඉන්නේ නැතිව ඔතැනින් ගැලවෙන්න කියලා. ගැලවෙන්නම ඕනේ නැත්නම් රට දියුණු වෙන්නේ නෑ. වාසනාවකට වගේ මම කියපු හින්දාද නැති හින්දාද දන්නේ නෑ මිනිස්සු ඒක කළා කරලා වෙනසකට ගියා. ගියපු වෙනසත් මම හිතන්නේ නෑ 100%ක් සාර්ථකයි කියලා. විකල්පයක් නැති හින්දා මිනිස්සු ඒක කළා. නමුත් ජනතාව හරියට පෙළ හැදිලා හිටියොත් දේශපාලනඥයොත් හැදේවී, දේශපාලනඥයොන්ට විකල්පයක් නැති වේවි. මේ දේ කරගත්තේ නැතිනම් අද ජනතාව ගෙවන කරුමේ ඊළඟ පරම්පරාවත් අනිවාර්යයෙන් ඒ කරුමේ ගෙවනවා.