සිරකරු හුවමාරුවකට රුසියාව සහ යුක්‍රේනය එකඟවෙයි

සිරකරු හුවමාරුවකට රුසියාව සහ යුක්‍රේනය එකඟවෙයි

May 17, 2025   01:36 pm

'රුසියානු - යුක්‍රේන' යුද්ධය ආරම්භ වී වසර තුනකට පසු දෙරටේ රාජ්‍ය තාන්ත්‍රිකයින් ඊයේ (16) පළමුවරට තුර්කියේ ඉස්තාන්බුල් නුවරදී මුහුණට මුහුණ හමුවිය.

මෙම හමුව විදෙස් වාර්තා පෙන්වා දී ඇත්තේ, 1945 වසරෙන් පසු යුරෝපයේ ඇති වූ දරුණුතම යුද්ධයේ නිමාවක් පිළිබඳව යම් බලාපොරොත්තු දල්වන්නක් බවය.

කෙසේ වෙතත් තුර්කියේ දී සාම සාකච්ඡා පැවැත්වීමට යෝජනා කළ රුසියානු ජනාධිපති පුටින් ඊට එක්නොවුණි.

පුටින් සාකච්ඡා සඳහා නොපැමිණීමට විරෝධය පළ කිරීමක් වශයෙන් යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කි ද මෙම සාකච්ඡාවට එක් නොවූ බව වාර්තා වේ.

පැය දෙකකටත් අඩු කාලයක් පැවති මෙම සාකච්ඡාවේ අපේක්ෂා කළ පරිදි සටන් විරාමයක් හෝ සටන් නිමාකිරීම සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණීමට දෙපාර්ශ්වයම අපෙහොසත් වී ඇත. 

එහෙත් යුද සිරකරුවන් හුවමාරු කරගැනීමට දෙරටම එකඟ වී තිබේ.

ඒ අනුව දෙපාර්ශ්වයෙන් යුද සිරකරුවන් දහස බැගින් නිදහස් කෙරෙනු ඇති බව විදෙස් වාර්තාවන්හි දැක්වේ.

කෙසේ වෙතත් සිරකරු හුවමාරුව සිදුවන දිනයක් මේ වනවිට තීරණය කර ඇතත්, ඒ පිළිබඳව මෙතෙක් අනාවරණ කර නොමැත. 

සාකච්ඡාවල මීළඟ පියවර දෙරටේ ජනාධිපතිවරුන් අතර සිදුවිය යුතු බව යුක්රේනයේ මතය වී ඇත.

එමෙන්ම සාකච්ඡා සම්බන්ධයෙන් තමන් සෑහීමකට පත්වන බවත්, සාකච්ඡා ඉදිරියට පවත්වාගෙන යාමට අපේක්ෂා කරන බවත් රුසියානු පාර්ශ්වය පවසා තිබේ.

කෙසේ වුවද ඇතැම් පාර්ශ්ව මත පළකරන්නේ මෙය නව යුරෝපා සම්බාධක පැනවීමටකට යටත් නොවී සිටීමට රුසියාව ගන්නා උත්සාහයක් පමණක් විය හැකි බවය.

මෙවන් පසුබිමක දෙරට අතර, ස්ථිරසාර සාමයක් උදාකිරීමට තමන් රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් හමුවීම අත්‍යවශ්‍ය බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද පවසා තිබේ.