ගැටුම විසඳන පාර පාකිස්තානයම පෙන්වයි 

ගැටුම විසඳන පාර පාකිස්තානයම පෙන්වයි 

April 26, 2025   11:19 am

ජම්මු - කාශ්මීරයේ පහල්ගම් හිදී පුද්ගලයින් 26 දෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍ය බව පාකිස්තාන ආරක්ෂක අමාත්‍ය කවාජා මුහම්මද් අසීෆ් පවසා තිබේ.

පාකිස්තාක ආරක්ෂක අමාත්‍යවරයා උපුටා දක්වමින් නිව්යෝක් ටයිම්ස් පුවත්පත මෙම තොරතුරු වාර්තාකර ඇති බව ඉන්දීය මාධ්‍ය පවසයි.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍ය බව පාකිස්තානය විශ්වාස කරන අතර ජාත්‍යන්තර විමර්ශකයින් සමග වැඩ කිරීමට කැමැත්තෙන් සිටින බව පාකිස්තාන ආරක්ෂක අමාත්‍යවරයා එහිදී පවසා තිබේ.

ජාත්‍යන්තර පරීක්ෂකවරුන් විසින් පවත්වනු ලබන ඕනෑම පරීක්ෂණයක් සමග පාකිස්තානය සහයෝගයෙන් කටයුතු කිරීමට සූදානම් බව ඔහු වැඩිදුරටත් පවසා තිබේ.

කිසිඳු සාක්ෂියක් හෝ පරීක්ෂණයක් නොමැතිව පාකිස්තානයට දඬුවම් කිරීමට ඉන්දියාව පියවර ගෙන ඇති බවද පාකිස්තාන ආරක්ෂක අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

මේ අතර පහල්ගම් හිදී පුද්ගලයින් 26 දෙනෙකු ඝාතනය කිරීමෙන් පසුව දෙපාර්ශ්වය විසින්ම පියවර රැසක් ගෙන ඇති අතර මේ වනවිට එය ඉන්දු පාකිස්තාන යුද්ධයක් දක්වා දුරදිග ගොස් ඇති බව සඳහන් වෙයි.

ඉන්දියාව‍ ඉන්දු ජල ගිවිසුම අත්හිටුවා ඇති අතර පාකිස්තානය ඉන්දීය ගුවන් සමාගම් සඳහා එරට ගුවන් කලාපය වසාදමා තිබේ.