අනතුරින් පසු ඇති වූ මාරාන්තික ආරවුල

අනතුරින් පසු ඇති වූ මාරාන්තික ආරවුල

March 9, 2025   04:56 pm

ඥාතීන් දෙදෙනෙකු විසින් පැදවූ යතුරුපැදි දෙකක් එකිනෙක ගැටී සිදුවු අනතුරක් සම්බන්ධයෙන් පැදිකරුවන් දෙදෙනා අතර ඇතිවු ආරවුල දුරදිග යෑමෙන් 63 හැවිරිදි අයෙකු ඝාතනය කර ඇතැයි වරකාපොළ පොලීසිය පවසයි. 

මෙම සිද්ධිය සිදුව ඇත්තේ වරකාපොළ ඇත්නාවල ප්‍රදේශයේය. 

ඊයේ (08) රාත්‍රියේ දී යතුරුපැදි දෙක එකට ගැටී අනතුර සිදුව තිබුණි.

එහිදී ඇති වූ ආරවුල දුරදිග යෑමෙන් එක් පැදිකරුවෙකු වන 42 හැවිරිදි පුතෙකු විසින් අනෙත් පැදිකරු වන 63 හැවිරිදි බාප්පාට පහරදී තල්ලු කර ඇත. 

එහිදී බාප්පා බිම වැටී ඇති අතර, බිම වැටී ඇති ස්ථානයේ ලේ පැල්ලමක්ද දැක ගැනීමට තිබූ බව අප වාර්තාකරු පැවසීය.

අදාළ පුද්ගලයාව තල්ලු කළ අවස්ථාවේ හිස කොන්ක්‍රීට් කොටසේ වැදී ඇති බවට පොලීසිය සැක පළකරයි. 

පසුව මෙම පුද්ගලයා රෝහලට ගෙන ගොස් ඇති අතර ඒ විටත්  ඔහු මියගොස්ව සිටි බව පොලීසිය පවසයි.

පසුව එම ස්ථානයට පැමිණි වරකාපොළ මහෙස්ත්‍රාත් අධිකරණයේ මහෙස්ත්‍රාත් ලුෂාකා කුමාරි ධර්මකීර්ති මහත්මිය ස්ථානිය පරීක්ෂණය සිදුකොට වරකාපොළ මූලික රෝහලේ තැන්පත් කර ඇති දේහය පශ්චාත් පරීක්ෂණ කටයුතු සඳහා කෑගල්ල මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී වෙත යොමුකොට වාර්තාවක් ලබාදෙන ලෙස වරකාපොළ පොලීසියට නියෝග කළේය.

42 හැවිරිදී පුතා පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර, වැඩිදුර පරීක්ෂණ කටයුතු වරකාපොළ පොලීසිය විසින් සිදුකරයි.