දකුණු කොරියානු ජනපති යෝල් රැඳවුම් භාරයෙන් නිදහස්
සයුරෙන් එතෙර

දකුණු කොරියානු ජනපති යෝල් රැඳවුම් භාරයෙන් නිදහස්

March 9, 2025   03:49 pm

රටට එරෙහිව කුමන්ත්‍රණයක් කළ බවට චෝදනා ලැබ අත්අඩංගුවට පත්වූ දකුණු කොරියානු ජනාධිපති යුන් සුක් යෝල් රැඳවුම් භාරයෙන් නිදහස ලබා තිබේ.

ඒ ඔහු නිදහස් කරන්නැයි අධිකරණයක් ලබාදුන් තීන්දුවක් අනුවයි.

කෙසේ නමුත් ඔහුට එරෙහි නඩුව තවදුරටත් ක්‍රියාත්මකයි.

දකුණු කොරියානු ජනාධිපති යුන් සුක් යෝල්ට රට තුළ දැඩි අප්‍රසාදයකට ලක්වුයේ හදිසියේ රටට හමුදා නීතිය හඳුන්වාදීමට ගත් තීන්දුවත් සමඟින්.

පසුගිය වසරේ දෙසැම්බර් මස 3 වැනිදා ගත් මෙම අත්තනෝමතික තීන්දුව පැය කිහිපයක් තුළ හකුලාගැනීමට, ඔහුට සිදුවූ අතර ඔහුට එරෙහිව විමර්ශනයක් ද ඒ සමඟම ආරම්භ වුණි.

ඉන් අනතුරුව අත්අඩංගුවට පත් ජනාධිපතිවරයා ඔහු රඳවා සිටි මධ්‍යස්ථානයෙන් නිදහස් කිරීමට එරට අධිකරණය පසුගියදා තීන්දු කළේය.

නිදහස ලැබූ ජනාධිපති යුන් සුක් යෝල්, සෝල් හි රැඳවුම් මධ්‍යස්ථානයෙන් ඉවත්ව ගියේය.

රටට එරෙහිව කුමන්ත්‍රණය කළ බව ජනාධිපතිවරයාට එල්ල වී ඇති චෝදනාවයි.

ඒ යටතේ ඔහු අත්අඩංගුවට ගත්තේ පසුගිය ජනවාරි මස 15 වෙනිදායි.

එහිදී බලහත්කාරයෙන් ජනාධිපති මන්දිරයට පිවිස ඔහු අත්අඩංගුවට ගැනීමට පොලීසියට සිදුවුණි.

ජනාධිපතිවරයා මෙලෙස නිදහස ලැබුවේ ඔහුට එරෙහි අධිචෝදනා පත්‍රයේ කාලය සහ විමර්ශන ක්‍රියාවලියේ නීත්‍යානුකූලභාවය පිළිබඳ ප්‍රශ්නකරමින් ඔහුගේ අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව අහෝසි කිරීමට අධිකරණය පියවර ගැනීමෙන් පසුවය.

කෙසේ නමුත් ජනාධිපතිවරයාට එරෙහි නඩුව ඉදිරියටත් ක්‍රියාත්මකයි.