සංචාරක වීසා උල්ලංඝනය කෙරූ ඉන්දීය ජාතිකයින් පිරිසක් පිටුවහල් කෙරේ
March 9, 2025 03:12 pm
මෙරට ආගමන විගමන නීතිරීති උල්ලංඝනය කරමින්, සංචාරක වීසා යටතේ මෙරටට පැමිණ සිටි ඉන්දීය ජාතිකයින් 15 දෙනෙකු පිටුවහල් කිරීමට කර තිබේ.
මෙම ඉන්දීය ජාතිකයින් පිරිස යාපනය ප්‍රදේශයේ යම් ආගමික කණ්ඩායමක ප්‍රචාරණ කටයුත්තක සහ ලී මඩුවක කැටයම් ශිල්පීන් ලෙස කටයුතු කරමින් හිඳ ඇතැයිද අනාවරණය වී තිබේ.
මොවුන් සියලු දෙනා කටුනායක ගුවන්තොටුපොළ මගින් නොමිලේ ලබා දී තිබූ සංචාරක වීසා යටතේ මෙරටට පැමිණ සිටි අයවලුන් වේ.
මොවුන් අතරින් දෙදෙනෙකු යාපනය මත්හල් ප්‍රදේශයේ පසුගිය 05 සහ 07 වැනි දින රෝග සුව කිරීමේ ආගමික මෙහෙයක් පැවැත්වීමට සූදානම් වෙමින් සිටි අතර ඔවුන්ට එරෙහිව එම ප්‍රදේශයේ හින්දු ජාතික සංවිධාන විසින් විරෝධතාවක්ද සංවිධානය කර තිබුණි.
එහිදී අත් අඩංගුවට ගත් ආගමික පූජකවරුන් දෙදෙනා ඊයේ (08) දින අලුයම ඉන්දියාවේ චෙන්නායි නුවර බලා පිටුවහල් කිරීමට පියවර ගෙන තිබුණි .
මීට අමතරව යාපනය ප්‍රදේශයේ ලී මඩුවක, කැටයම් ශිල්පීන් ලෙස කටයුතු කරමින් සිටි තවත් ඉන්දීය ජාතිකයන් 08 දෙනෙකුද අවන්හල් තුළ සේවය කරමින් සිටි ඉන්දීය ජාතිකයින් 05 දෙනෙකුද අත්අඩංගුවට ගෙන පළාලි ගුවන් තොටුපොළෙන් ඊයේ දින ඉන්දියාවේ චෙන්නායි නුවර වෙත පිටුවහල් කර ඇත.