2050 දී ලෝකයේ සිටින දරුවන් සහ වැඩිහිටියන් ගැන අනාවැකියක්
March 4, 2025 05:02 pm
2050 වන විට ලෝකයේ වැඩිහිටි ජනගහනයෙන් 60%කට ආසන්න පිරිසක්, අධි බර හෝ ස්ථුලභාවයට පත්වන බව වෛද්‍ය පර්යේෂණයින් අනාවරණය වී තිබේ.
එමෙන්ම සියලුම දරුවන්ගෙන් ද තුනෙන් එකක් පමණ අධි බර හෝ ස්ථුලභාවයට පත්වනු ඇති බවද එම වෛද්‍ය පර්යේෂණයෙන් හෙළි වී ඇත.
රටවල් 204 ක දත්ත භාවිත කර එංගලන්තයේ ලැන්සෙට් වෛද්‍ය සඟරාව විසින් එම පර්යේෂණය සිදුකර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
ලොව පුරා අධි බර හෝ ස්ථුල පුද්ගලයින් සංඛ්‍යාව 1990 වසරේ දී මිලියන 929 සිට 2021 වසර වන විට බිලියන 2.6 දක්වා ඉහළ ගොස් ඇති බව එම වාර්තාවෙන් පෙන්වා දී ඇත.
ඒ අනුව පර්යේෂකයින් පෙන්වා දී ඇත්තේ වසර 15ක් තුළ වැඩිහිටියන් බිලියන 3.8 ක් අධික බරින් හෝ ස්ථුල වනු ඇති බවය.
අදාළ ගණනය කිරීම් අනුව ඒ වන විට ලෝකයේ ස්ථුලභාවයට පත් වූ අයගෙන් හතරෙන් එකක් පමණ අවුරුදු 65 ට වැඩි වයස්වල පසුවනු ඇතැයි අපේක්ෂා කෙරේ.
ලොව පුරා ළමුන් සහ නව යොවුන් වියේ පසුවන්නන් අතර ස්ථුලභාවය 121 % කින් ඉහළ යනු ඇතැයි ද ඔවුන් පුරෝකථනය කර තිබේ.
2050 වන විට ස්ථුලභාවයට පත් තරුණයින්ගෙන් තුනෙන් එකක් මැද පෙරදිග සහ උතුරු අප්‍රිකාව සහ ලතින් අමෙරිකාව සහ කැරිබියන් යන කලාප දෙකක ජීවත් වනු ඇතැයි පර්යේෂකයෝ අනතුරු අඟවයි.
ලෝකයේ අධි බර හෝ ලභාවයට පත් වැඩිහිටියන්ගෙන් අඩකට වඩා දැනටමත් චීනය, ඉන්දියාව, අමෙරිකා එක්සත් ජනපදය, බ්‍රසීලය, රුසියාව, මෙක්සිකෝව, ඉන්දුනීසියාව සහ ඊජිප්තුව යන රටවල් අටක පමණක් ජීවත් වන බව අධ්‍යයනයෙන් පෙන්වා දී ඇත.
අධ්‍යයනයට සම්බන්ධ නොවූ කෝපන්හේගන් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයෙකු වන තෝර්කිල්ඩ් සොරෙන්සන් පවසා ඇත්තේ දුර්වල ආහාර රටා සහ උදාසීන ජීවන රටාවන් පැහැදිලිවම ස්ථුලභාවයට හේතු විය හැකි බවය.
මෙම පර්යේෂණය අනුව, වඩාත්ම බලපෑමට ලක් වූ කලාප වන්නේ සංවර්ධනය වෙමින් පවතින රටවල් බව සඳහන් වේ.
ස්ථුලභාවය සහ අධි බර ඇති වැඩිහිටියන්ගෙන් 79% ක් සහ ස්ථුලභාවය සහ අධි බර ඇති ළමුන්ගෙන් 88% ක් 2035 වන විට අඩු සහ මධ්‍යම ආදායම් ලබන රටවල ජීවත් වන බවත්, මෙයට මුහුණ දීමට ප්‍රමාණවත් සෞඛ්‍ය පද්ධති ඇත්තේ සියලුම රටවලින් 7 %ක පමණක් බවත් සඳහන් වේ.
මෙම තත්ත්වය සැබවින්ම ලොව පුරා ඇති ප්‍රධාන මහජන සෞඛ්‍ය අභියෝගවලින් එකක් බවට පර්යේෂකයින් පෙන්වා දී ඇත.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් වැඩිදුරටත් පර්යේෂකයින් පෙන්වා දී ඇත්තේ අදාළ රටවල් මේ සම්බන්ධයෙන් කඩිනමින් නිසි ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කළ යුතු බවය.