සයුරෙන් එතෙර
හින්දි ගීතයකට මිතුරන් සමග සතුටට නැටූ මනාලයාට සිදු වූ දේ
February 2, 2025 03:53 pm
සිය විවාහ මංගල්‍ය දිනයේ ජනප්‍රිය බොලිවුඩ් ගීතයකට නර්තනය කිරීම හේතුවෙන් මනාලයාට සිය විවාහ උත්සවය ඛේදවාචකයක් වීමේ පුවතක් ඉන්දියාවේ දිල්ලි නුවරින් වාර්තාවේ.
ඉන්දීය මාධ්‍ය වාර්තාකර තිබුණේ මනාලයා විසින්, ඉතා ජනප්‍රිය "චෝලි කේ පීචේ ක්‍යා හේ" හිංදි ගීතයට නැටීමත් සමග එයට උරණ වූ මනාලියගේ පියා විසින් විවාහ උත්සවය නවතා දමා ඇති බවය.
මනාලයා සිය මංගල පෙරහරින් විවාහ උත්සව ශාලාවට පැමිණෙනවාත් සමග ඔහුගේ මිතුරන් ඔහුට නැටීමට ආරධනා කර තිබේ.
එම අවස්තාවේ වාදනය වී ඇත්තේ 90 දශකයේ ඉතා ජනප්‍රිය බොලිවුඩ් ගීතයක් වන "චෝලි කේ පීචේ ක්‍යා හේ" ගීතයයි.
සිය විවාහයේ ප්‍රීතියෙන් සිටි මනාලය ද මිතුරන්ගේ ආරාධනය පිළිගනිමින් ගීතයට නැටීමක් සිදුකර ඇත.
එහිදී අමුත්තන් ඔහුට ඔල්වරසන් දෙමින් සතුට පළ කර ඇති බව සඳහන් වේ.
නමුත් මද වේලාවක් ගත වනවාත් සමගම ඔහුගේ නර්ථනය මනාලියගේ පියාට එතරම් ප්‍රිය ජනක නොවු බව උත්සවයේ සිටි පිරිස පවසා තිබේ.
ඒත් සමගම මනාලියගේ පියා එතැනට පැමිණ උත්සවය නතර කර විවාහ මංගල්‍යය ද නතර කිරීමට පියවර ගෙන ඇත.
මනාලයාගේ මෙම නැටුම, සිය පවුලේ ගෞරවයට අපහාස කරන බව පවසමින් මනාලියගේ පියා උත්සව ශාලාවෙන් පිටතට ගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
තමන් එම ගීතයට නැටුවේ විනෝද වීමට පමණක් බවට මනාලයා විසින් කෙතරම් පැහැදිලි කිරීමට උත්සහ කළද මනාලියගේ පියා එය පිළිනොගත් බව සඳහන් වේ.
එම අවස්ථාවේ දී මනාලිය ද හඬමින් සිට ඇති නමුත් පියාගේ තීරණයේ කිසිදු වෙනසක් සිදුව නැත.
එමෙන්ම ඇයට නැවත මනාලයා සමග හෝ ඔහුගේ පාර්ශවයේ කිසිදු කෙනෙකු සමග තවදුරටත් සම්බන්ධතා පැවැත්වීමට ද තහනම් කරන ලෙසට ද, පියා විසින් තරවටු කර ඇති බව සඳහන් වේ.
මෙම සිද්ධිය ඉන්දියාවේ සමාජ මාධ්‍ය වේදිකාවන් වලද ඉතාම ඉක්මනින් පැතිර ගිය බවත් විවිධාකාර ශීර්ෂ පාඨ ඔස්සේ මෙම පුවත වාර්තා කිරීමට ඉන්දීය මාධ්‍ය යොමු වූ බවත් සඳහන් වේ.