සූකර උණ තවත් පළාත් කිහිපයකට පැතිරෙයි

සූකර උණ තවත් පළාත් කිහිපයකට පැතිරෙයි

October 28, 2024   04:10 pm

බස්නාහිර පළාතේ පළමුවරට වාර්තා වූ අප්‍රිකානු සූකර උණ රෝග තත්ත්වය මේ වනවිට ඌව, උතුරු සහ වයඹ පළාත්වලින් ද වාර්තා වී ඇති බව බස්නාහිර පළාත් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ කේ. කේ. සරත් මහතා පවසයි.

අද දෙරණ BIG FOCUS වැඩසටහනට එක් වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

මෙම සූකර උණ වැළඳුණු සතුන්ගේ මරණ ප්‍රතිශතය ඉතා ඉහළ බවත් මෙම රෝග තත්ත්වය පාලනය සඳහා මෙතෙක් ඖෂධයක් සොයාගෙන නොමැති බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

අප්‍රිකානු සූකර උණ රෝග තත්ත්වය බස්නාහිර පළාතේ ගොවිපොළවල් 04කින් මේ වනවිට වාර්තා වී ඇති බව පළාත් අධ්‍යක්ෂ කේ. කේ. සරත් මහතා සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් ඒ මහතා සඳහන් කළේ බස්නාහිර පළාතේ බේරුවල, වැලිසර සහ  පාදුක්ක යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලින් මෙම රෝගී තත්ත්වය ගොදුරුවී ඇති සතුන් දැනට හඳුනාගෙන ඇති බවය.

පසුගිය සතියේ වාර්තා වූ දත්ත අනුව බස්නාහිර පළාතේ ඌරන් 70,000ක පමණ ප්‍රමාණයක් සිටින බවත් ඉන් 20,000ක් 25,000ක් අතර ප්‍රමාණයක් මෙම රෝග තත්ත්වය වැළඳී මියගොස් ඇති බව සඳහන් ය.

අප්‍රිකානු සූකර උණ රෝග තත්ත්වය පාලනය කිරීම සඳහා ගෙන ඇති පියවර සම්බන්ධයෙන් අදහස් දැක්වූ බස්නාහිර පළාත් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ කේ. කේ. සරත් මහතා පවසා සිටියේ, "මේ රෝගය පාලනය කිරීමේ සැලැස්ම ගත්තොත් එකක් තමයි රෝගය හඳුනා ගන්නවා. ඒ සත්තු ටික ඔක්කොම සීල් කරන්න ඕනේ එහෙම කරලා එළියට වෛරස් එක යන එක නතර කරගන්න ඕනේ. පොකට් එකක් ඇතුළට දාගන්න ඕනේ. යම් කාලයක් ගන්න වෙනවා. හැබැයි මාර්ගෝපදේශනවල තියෙන්නේ ආසාදන වුණු සත්තු ටික මරන්න ඕනේ. සමහර රටවල් එහෙම කරනවා ලංකාවේ ආර්ථිකයත් එක්ක ඕක කොහොමද කරන්නේ? සත්තු මරණකොට ඒ අයට වන්දියක් ගෙවන්න ඕනේ. කොහොමද එහෙම වන්දි ගෙවන්නේ අපිට සල්ලි තියෙනවද?" යනුවෙනි.

රජයක් ලෙස මෙම රෝගී තත්ත්වය පාලනය කිරීමට අවශ්‍ය ක්‍රියාමර්ග සඳහන් කරමින් අදාළ ගැසට් නිවේදනයක් අද (28) නිකුත් කිරීම නියමිත බව බස්නාහිර පළාත් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ පළාත් අධ්‍යක්ෂ කේ. කේ. සරත් මහතා පැවසීය.

"මැරුණු කෑලෑ ඌරන් පිළිබඳව දැනට වාර්තා වෙලා තියෙනවා මීරිගම ප්‍රදේශයෙන් ඇයි මරුණේ කියන එක තාම දන්නේ නැහැ. වෙනදට වැඩිය සත්තු කිහිපයක් මැරිලා ඉන්නවා ප්‍රදේශයේ ජනතාව කිව්වා." 

මේ අතර බස්නාහිර පළාතේ, ගම්පහ දිස්ත්‍රික්කයෙන් පළමුවරට ඌරන් ආශ්‍රිතව වාර්තා වූ ප්‍රජනන හා ශ්වසන රෝගය අප්‍රිකානු සූකර උණ රෝග තත්ත්වය බවට ඊයේ (27) තහවුරු විය.

සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත්කරමින් සඳහන් කළේ, ක්ෂේත්‍රයෙන් ලබාගන්නා ලද නව සාම්පල පරීක්ෂා කිරීමේ දී එම සාම්පල කිහිපයකින් ඒ බව තහවුරු වී ඇති බවය.

පසුගිය කාල සීමාවේ ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක ඌරන් හදිසියේ මියයාමේ සිදුවීම් වාර්තා වූ අතර ඒ සම්බන්ධයෙන් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විශේෂ පරීක්ෂාවක් සිදුකරනු ලැබීය.