හෙරොයින් මත්කුඩු ළඟ තබා ගත් අයෙකුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

හෙරොයින් මත්කුඩු ළඟ තබා ගත් අයෙකුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

October 28, 2024   04:48 pm

හෙරොයින් මත්කුඩු ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් වරදකරු වූ අයෙකුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කිරීමට කොළඹ මහාධිකරණය අද (28) කටයුතු කළේය.

මෙලෙස සිර දඬුවම් නියම වී ඇත්තේ බොරැල්ල ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි එක්දරු පියෙකුට ය.

2016 වසරේ නොවැම්බර් මස 8 වැනිදා බොරැල්ල නව මැගසින් බන්ධනාගාරය පිටුපස මාර්ගයේ සිදුකළ සෝදිසියකදී හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 11.07 ක් සමග මෙම විත්තිකරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

ඉන් අනතුරුව නීතිපතිවරයා විසින් මොහුට එරෙහිව හෙරොයින් මත්කුඩු සන්තකයේ තබා ගැනීම සහ ජාවාරම් කිරීම යන චෝදනා යටතේ නඩු පවරනු ලැබීය. 

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව මහාධිකරණ විනිසුරුවරයා ප්‍රකාශ කළේ මෙම විත්තිකරුට එරෙහිව එල්ල කර තිබූ චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇති බවය. 

විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් සිය සේවාදායකයාට මාසයක් වයසැති දරුවකු සිටින බවද ඔහුට පෙර වැරදි නොමැති බවත් සඳහන් කර සිටියාය.

එබැවින් ඔහුට ලිහිල් දඬුවමක් ලබා දෙන ලෙස නීතිඥවරිය අධිකරණයෙන් ඉල්ලීම් කළාය. 

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා අනතුරුව විත්තිකරුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කළේය.