දේශපාලන ව්‍යාපාරය වෙනස් කළ යුතු බව ජනපති කළුතර දී කියයි

දේශපාලන ව්‍යාපාරය වෙනස් කළ යුතු බව ජනපති කළුතර දී කියයි

October 28, 2024   08:06 am

රට ගොඩනැංවීම සඳහා දැනට පවතින දේශපාලන ව්‍යාපාරය වෙනස්කළ යුතුව පවතින බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

මෙම හේතුව මත ජනතාවට දේශපාලනය අප්‍රසන්න තත්ත්වයට පත්ව ඇති බව ජනාධිපතිවරයා සඳහන් කළේය.

කළුතර ප්‍රදේශයේ පැවති ජන රැළියකට එක්වෙමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව කියා සිටියේය.

"අපිට වැඩ ගොඩක් තියෙනවා කරන්න. එකක් තමා පළමු කොටම මේ රට ගොඩනැගීම සඳහා අපේ රටේ තියෙන මේ දේශපාලනය වෙනස් කරන්න ඕනේ. අපේ රටේ දේශපාලනය සැලකිය යුතු ප්‍රමාණයකින් ව්‍යාපාරයක්. පාර්ලිමේන්තුවේ ඉන්න අය එහාට පනිනවා මෙහාට පනිනවා, මිරිස් කුඩු ගේනවා, පිහි ගේනවා සභාගර්භය මැද්දේ පෙරළිලා ගහ ගන්නවා. සෞඛ්‍ය ඇමති බෙහෙත්වලින් හොරකම් කරා කියලා විශ්වාසභංගයක් ගේනකොට එයා බේරගන්න අත උස්සනවා. ජනතාවට මේක අප්‍රසන්න තැනක් බවට පත්වුණා. නීතිය කඩන අය, අපරාධකරුවන් ඒ වගේම ඝාතන වැරදිකරුවන්, කප්පම්කරුවන්ගෙන් පිරුණු පාර්ලිමේන්තුවක් තිබුණා. ජනතාව හැමදාම ප්‍රාර්ථනා කළේ, ඔන්න ඔය පාර්ලිමේන්තුව එන්න ඕනේ කියලා. එකක් මතක තියා ගන්න... ඔය ඉන්න කිසිකෙනෙක් ජයන්තිපුර ගේට්ටුව කඩාගෙන, පාර්ලිමේන්තුවේ දොර කඩාගෙන සභාගර්භයට ගියා නෙමෙයි. හැබැයි මේ සැරේ නොවැම්බර් 14 කියන්නේ පාර්ලිමේන්තුව පිරිසිදු කිරීමේ මහා ශ්‍රමදානය."

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ජනාධිපතිවරයා සඳහන් කළේ, 25 දෙනෙකුට වඩා අඩු අමාත්‍ය මණ්ඩලයක් නිර්මාණය කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවය.

"මේ රට වෙනස් කිරීමේ දේශපාලන නායකත්වයේ ප්‍රධානම තැන පාර්ලිමේන්තුව. අන්න ඒ පාර්ලිමේන්තුවේ වැඩි බලය ජාතික ජනබලවේගයට ඕනේ. ඊට පස්සේ, අපි හදනවා 25ට වඩා අඩු කැබිනට් මණ්ඩලයක්. විද්‍යාඥ ක්‍රමයට අමාත්‍යාංශ බෙදනවා. පටලන්නේ නෑ... පැටලෙන්නේ නෑ. ඊට පස්සේ, අමාත්‍යාංශයට සහායවීම සඳහා නියෝජ්‍ය අමාත්‍යවරු පත්කරනවා. පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුදෙනා එම අමාත්‍යාංශ මෙහෙයවීමේ දී යම් කාර්යකට දායකකර ගන්නවා. කිසි කෙනෙක් අත්හරින්නේ නෑ. අපි දේශපාලනයේ පරිත්‍යාගශීලිත්වය, අවංකභාවය පෙන්වනවා. එතකොට රට පිළිබඳ උනන්දුවක් තියෙන අය එනවා වැඩ කරන්න. දැනටමත් අපි පත්කරපු සංස්ථා මණ්ඩලවල බහුතරයක් වැටුප් ගන්නේ නැතුව වැඩකරන අය."