ජපාන පාර්ලිමේන්තු මැතිවරණය අද

ජපාන පාර්ලිමේන්තු මැතිවරණය අද

October 27, 2024   05:05 pm

ජපාන පාර්ලිමේන්තු මැතිවරණය අද (27) පැවැත්වේ.

මෙය එරට පාලක ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදි පක්ෂයට මෙන්ම අගමැති ෂිගේරු ඉෂිබාටත් ඉතාමත් වැදගත් මැතිවරණයක් ලෙස විදෙස් වාර්තා පෙන්වා දෙයි.

ජපාන හිටපු අගමැති ෆුමියෝ කිෂිඩා අගමැති ධුරයෙන් ඉල්ලා අස්වුණේ පසුගිය අගෝස්තු මාසයේදීය.

ඒ ඔහුගේ තුන්වසරක පාලන කාලයේදී ජීවන වියදම කැපී පෙනෙන ලෙස ඉහළයාමෙන් ජනතා අප්‍රසාදය එල්ල වීමත් සමගය.

ජපාන ව්‍යවස්ථාව අනුව හිටපු අගමැති කිෂිඩා ධුරයෙන් ඉවත් වීමෙන් පසුව පාලක පක්ෂයේ නායකයා අගමැති ධුරයට පත්විය.

මෙම මස මුල දී ජපාන අගමැති ධුරයට පත් ෂිගේරු ඉෂිබාගේ මතය වුණේ කඩිනමින් මැතිවරණය පැවැත්විය යුතු බවටය.

ඒ අනුව ජපාන පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ ඡන්ද විමසීම අද උදෑසන ආරම්භ විය.

එහිදී එරට පහළ මන්ත්‍රණ සභාවේ ආසන 465ක් වෙනුවෙන් නියෝජිතයින් තෝරා ගැනීමට නියමිතය.

ජපානයේ වත්මන් පාලක ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය පශ්චාත් යුද සමයෙන් පසු සෑම මැතිවරණයකදීම පාහේ පහළ මන්ත්‍රණ සභාවේ බහුතරය දිනා ගැනීමට සමත් විය.

කෙසේ වුවද මෙවර මැතිවරණය ඔවුන්ට අභියෝගයක් වී ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට මේ වනවිට පවතින ආසන 247න් ආසන 50ක් පමණ මෙවර මැතිවරණයෙන්  අහිමි වනු ඇතිබව විශේෂඥයින් පුරෝකතනය කරයි.

පක්ෂය තුළ ඇති අර්බුද මෙන්ම ඉහළ යන ජීවන වියදම හේතුවෙන් රජයට එල්ලවන අප්‍රසාදයත් ඊට හේතු වී තිබේ.

එමෙන්ම එරට විපක්ෂ, ව්‍යවස්ථාපිත ප්‍රජාතන්ත්‍රවාදි පක්ෂය සතුව මේ වනවිට පවතින ආසන 98 , ආසන 140ක් දක්වා ඉහළ යනු ඇතැයි ද විශේෂඥයින් මත පළ කරයි.

ඒ අනුව මෙවර පාර්ලිමේන්තු මැතිවරණය පාලක ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට මෙන්ම අගමැති ෂිගේරු ඉෂිබාටත් ඉතාමත් වැදගත් මැතිවරණයක් ලෙස විදෙස් වාර්තා පෙන්වා දෙයි.