ෂන්ටෝ නායකත්වය අත්හැරීමට සැරසෙයි

ෂන්ටෝ නායකත්වය අත්හැරීමට සැරසෙයි

October 27, 2024   04:56 pm

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ නිත්‍ය නායක ලෙසින් කටයුතු කරන නජ්මුල් හොසේන් ෂන්ටෝ නායකත්වයෙන් ඉවත්වීමට තීරණය කර තිබේ. 

පසුගිය වසරේදී නොවැම්බර් මාසයේදී බංග්ලාදේශ ටෙස්ට් කණ්ඩායමේ නායකත්වයට පත් වූ ෂන්ටෝ, පසුව එරට එක්දින හා විස්සයි20 කණ්ඩායමේද නායකයා ලෙසින් පත්කළේය.

කෙසේ නමුත් නායකත්වයට පත්වීමෙන් පසු ඔහුගේ පිතිකරණ දක්ෂතා කැපී පෙනෙන ලෙස ඉස්මතු නොවුණි.

ඒ හේතුවෙන් ඔහු බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයට දැනුම්දී ඇත්තේ මේ දිනවල පැවැත්වෙන දකුණු අප්‍රිකාවට එරෙහි ටෙස්ට් තරගාවලියෙන් පසු තමන්ට නායකත්වයෙන් ඉවත්වීමට අවශ්‍ය බවයි.

දකුණු අප්‍රිකාවට එරෙහි ටෙස්ට් තරගාවලිය නොවැම්බර් මස 2වනදා අවසන්වීමෙන් පසු බංග්ලාදේශ කණ්ඩායම, ඇෆ්ගනිස්තානය හා බ.ඉ. කොදෙව් කණ්ඩායම් සමගින් තරග වැඳීමට නියමිතව ඇත.

ඒ හේතුවෙන් බංග්ලාදේශයට කෙටි කාලයක් තුළදීම නව නායකයෙකු පත්කරගැනීමට සිදුවනු ඇත.

කෙසේ වෙතත් ෂන්ටෝ සැලකිය යුතු සාර්ථකත්වයක් අත්කරගත් නායකයෙකි.

පසුගිය වසරේදී නවසීලන්තයට එරෙහිව ටෙස්ට් ජයක්, ඉකුත් අගෝස්තු මාසයේදී පාකිස්තානයට එරෙහිව ටෙස්ට් තරගාවලි ජයක් කරා බංග්ලාදේශය මෙහෙවීමට ෂන්ටෝට හැකිවිය.