ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ පෙත්සම ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හෙට

ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ පෙත්සම ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හෙට

October 22, 2024   07:06 pm

වන්නි දිස්ත්‍රික්කය වෙනුවෙන් භාරදුන් සිය නාමයෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කිරීමට දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරියා ගනු ලබූ තීරණය බලරහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය විසින් ගොනුකළ  පෙත්සමේ තීන්දුව හෙට (23) දින ප්‍රකාශයට පත්කරන බව ශ්‍රේෂ්ඨාධිකරණය නිවේදනය කළේය.

දෙපාර්ශය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුව ශ්‍රේෂ්ඨාධිකරණය  පෙන්වා දුන්නේ ප්‍රතික්ෂේප කළ නාමයෝජනා පත්‍රය පවතින නීතියට අනුකූලව අදාළ තේරීම්භාර නිලධාරියා විසින් භාරගත යුතු  බවයි.

 ඒ අනුව මෙම කරුණට අදාළ තීන්දුව සහ ඊට හේතු හෙට දින ප්‍රකාශයට පත් කරන බවත් ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල නියෝග කළේය.

මෙම පෙත්සම අද ප්‍රීති පද්මන් සූරසේන, ශිරාන් ගුණරත්න සහ අචල වෙංගප්පූලි යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත්තේ අදාළ පක්ෂයේ බලයලත් නිලධාරී පරරාජසිංගම් උදය රාසා සහ තවත් අපේක්ෂකයින් දෙදෙනෙකු විසිනි.

එහි වගඋත්තරකරුවන් ලෙස මැතිවරණ කොමිසමේ සභාපති ඇතුළු එහි සාමාජිකයින්, වන්නි දිස්ත්‍රික්කයේ තේරීම්භාර නිලධාරියා ඇතුළු පිරිසක් නම්කර තිබේ.

නීතිඥ සනත් විජේවර්ධන මහතා මාර්ගයෙන් ගොනුකර තිබෙන අදාළ පෙත්සම තුළින් පෙත්සම්කරුවන් කියා සිටින්නේ මහ මැතිවරණයට තරඟ කිරීම සඳහා තමන් වන්නි දිස්ත්‍රික්කය වෙනුවෙන් එහි තේරීම්භාර නිලධාරියාට සිය නාමයෝජනා පත්‍රය ඉදිරිපත් කළ බවයි.

එම අවස්ථාවේදී අදාළ නාමයෝජනා පත්‍රය විධිමත් ලෙස ඉදිරිපත් කර නොමැති බව සඳහන් කරමින් එය භාර ගැනීම තේරීම් භාර නිලධාරියා විසින් ප්‍රතික්ෂේප කළ බවත් පෙත්සමේ සඳහන් වෙයි.

සියලු ලේඛන විධිමත්ව ඉදිරිපත් කර තිබියදී සිය නාමයෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කිරීමට දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරියා ගනු ලැබූ තීරණය නීතියට පටහැනි බවත් එම තීරණය බලරහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙසත් ඉල්ලා මෙම පෙතිසම ඉදිරිපත් කර තිබේ.

ඊට අමතරව මෙම පෙත්සම විභාගකොට අවසන් තීන්දුවක් ප්‍රකාශයට පත් කරනතුරු වන්නි දිස්ත්‍රික්කය සඳහා ලබන නොවැම්බර් මස 14 වනදා මහ මැතිවරණ ඡන්ද විමසීම පැවැත්වීම අත්හිටුවීමේ අතුරු තහනම් තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත් එම පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා තිබුණි.