ආණ්ඩුකාරවරුන්ට ජනපති දුන් උපදෙස

ආණ්ඩුකාරවරුන්ට ජනපති දුන් උපදෙස

October 22, 2024   06:02 pm

පළාත් සභා යාන්ත්‍රණය විධිමත් කිරීම සඳහා යෝජනාවලියක් සකස් කර ඉදිරිපත් කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පළාත් ආණ්ඩුකාරවරුන්ට දැනුම්දී තිබේ.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, ජනාධිපති ලේකම් කාර්යාලයේ අද (22) පෙරවරුවේ පළාත් ආණ්ඩුකාරවරුන් සමග පැවැති සාකච්ඡාවේදීය.

පළාත් සභා යටතේ සෞඛ්‍ය සහ අධ්‍යාපන සේවාවන්හි පවතින පුරප්පාඩු පිළිබඳව මෙහිදී විශේෂ අවධානය යොමුවී ඇති අතර ඊට සාධනීය විසඳුම් ලබා දීමට ද මෙහිදී තීරණය වූ බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් ය.

පවතින සංක්‍රාන්තික කාලය තුළ ජනතාවගේ ජීවන තත්ත්වය පහසු කිරීම සඳහා පළාත් සභාවලින් සිදුකළ හැකි උපරිම සේවාව ලබා දීමට කටයුතු කරන ලෙසද ජනාධිපතිවරයා පවසා ඇත.

ජනතාවගේ ජීවිතය පහසු කිරීම සඳහා ආර්ථික සහ සමාජීය වශයෙන් කළ හැකි සියලු මැදිහත් වීම් පළාත් සභාවලින් සිදු කරන ලෙස මෙහිදී ජනාධිපතිවරයා පළාත් ආණ්ඩුකාරවරුන්ට උපදෙස් ලබාදී තිබේ.

නව දේශපාලන සංස්කෘතියක් ආරම්භ කිරීම සඳහා ලැබී තිබෙන ජනවරම පිළිබඳ සිහිපත් කළ ජනාධිපතිවරයා ජනතාව තැබූ එම විශ්වාසය පලුදු නොවන අයුරින් ක්‍රියාකරන ලෙසද මෙහිදී අවධාරණය  කළේය.

උතුරු නැගෙනහිර ඉඩම් සම්බන්ධයෙන් සහ පළාත් සභා මුදල් භාවිතය සම්බන්ධයෙන්ද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් කර ඇති අතර කන්තලේ ගොවි ජනතාවට ලබා දුන් ඉඩම් පිළිබඳව ද අවධානය යොමු කර තිබේ.