පරකඩුවේ අවාසනාවන්ත සිද්ධිය - පියාට අවසන් ගෞරව දැක්වීමට පුතා නිවෙසට

පරකඩුවේ අවාසනාවන්ත සිද්ධිය - පියාට අවසන් ගෞරව දැක්වීමට පුතා නිවෙසට

October 22, 2024   04:48 pm

පිරිසක් විසින් ජීප් රථයකින් පැහැරගෙන යමින් සිටි සිය පුත්‍රයාව බේරාගැනීමට උත්සාහ කළ පියෙකු එම ජීප් රථයට යටකර ඝාතනය කිරීමේ සිද්ධියක් ඇහැළියගොඩ, පරකඩුව ප්‍රදේශයෙන් වාර්තා විය.

පුත්‍රයාට ද අදාළ පිරිස විසින් ඇසිඩ් ප්‍රහාරයක් එල්ලකර තිබූ අතර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර පියාගේ දේහය දැකගැනීමට පුත්‍රයා අද (22) නිවසට පැමිණියේය.

ඇහැළියගොඩ, පරකඩුව ප්‍රදේශයේ නිවසකට පසුගිය 19 වනදා සවස, පොලිස් නිලධාරීන් බව පවසා පිරිසක් ජීප් රථයකින් පැමිණ තිබුණි.

එම පිරිස නිවසේ සිටි තරුණයෙකුට මාංචු දමා ඇසිඩ් ගසා බලහත්කාරයෙන් රැගෙන යාමට තැත්කිරීමේදී ඔහුගේ පියා එය වැළැක්වීමට උත්සාහ කර තිබුණි.

එහිදී පියා ජීප් රථයේ එල්ලී ඇති අතර එය නොනවත්වා ධාවනය කිරීම නිසා ඔහු ඉන් වැටී තිබේ.

එහිදී ජීප් රථයේ රියදුරු එම පුද්ගලයාව යටකරමින් රථය ඉදිරියට ධාවනය කර තිබූ බව වාර්තා විය.

පොලීසිය සඳහන් කළේ අනතුරුට ලක්වූ 65 හැවිරිදි එම පුද්ගලයා රෝහල්ගත කිරීමෙන් පසු මියගොස් තිබූ බවය.

පැහැරගැනීමට ලක් වූ පුත්‍රයා තුවාල සහිතව මහමඟ දමාගොස් සිටියදී ඥාතීන් රෝහල්ගත කර තිබුණි.

පෞද්ගලික ආරවුලක් මෙම පහරදීමට හේතුව ලෙස සැකකරන බව පොලීසිය සඳහන් කළේය.