අනතුරට ලක්වූ දුම්රිය මැදිරි පීලිගත කිරීමේ කටයුතු ගැන දැනුම්වත් කිරීමක්   

අනතුරට ලක්වූ දුම්රිය මැදිරි පීලිගත කිරීමේ කටයුතු ගැන දැනුම්වත් කිරීමක්   

October 18, 2024   07:20 pm

වනඅලි ගැටීම හේතුවෙන් පීලි පැනීමට ලක්වු මඩකලපුව බලා ඉන්ධන ප්‍රවාහනය කළ දුම්රිය පීලිගත කිරීමේ කටයුතු හෙට (19) අලුයම වනවිට අවසන් කිරීමට ලබාපොරොත්තු වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

‍මේ හේතුවෙන් මඩකලපුව සහ කොළඹ කොටුව අතර ධාවනය වන සියලුම දුම්රිය ගමන්වාර අද (18) දිනයේ දී අවලංගු කරන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

කොලොන්නාව තෙල් ගබඩා පර්යන්තයේ සිට මඩකලපුව බලා ඉන්ධන ප්‍රවාහනය කළ දුම්රියක් වන අලි රංචුවක ගැටිමෙන් අද අලුයම පීලිපැනීමකට ලක්ව තිබුණි.

එම අනතුර සිදුව තිබුණේ මින්නේරිය සහ හිඟුරක්ගොඩ අතර රොටවැව ප්‍රදේශයේදී ය.

මේ හේතුවෙන් ඉන්ධන ටැංකි හතරක් පීලි පැන ඉන් දෙකක් පෙරළී ගොස් තිබුණි.

එම ස්ථානයේ නිරීක්ෂණ චාරිකාවට එක්වෙමින්  දුම්රිය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ගමනාගමන) එන්. ජේ. ඉඳිපොළගේ මහතා පැවසුවේ ඉන්ධන ඉවත්කිරීමේ කටයුතු අවසන්වීමෙන් පසු දුම්රිය පීලිගත කිරීමේ කටයුතු ආරම්භ කරන බවය.

ඉන්ධන ප්‍රවාහනය කළ දුම්රියක් මින්නේරිය රොටවැව මංසන්ධිය ආසන්නයේ දී වන අලි රංචුවක අද අලුයම ගැටී වන අලි දෙදෙනෙකු මියගොස් තවත් වන අලියෙක් බරපතළ තුවාල ලැබීය.

එම දුම්රියේ තිබූ පෙට්‍රල් සහිත ටැංකි මැදිරි 2ක් අනතුරින් පෙරළීගොස් තිබුණේ දුම්රිය මාර්ගයට ද දැඩි හානි සිදුකරමින්. 

අදාළ ස්ථානයේ පැයට කිලෝමීටර 20ක වේගයෙන් දුම්රිය ධාවනය කරන්නැයි පුවරු සඳහන් කර ඇති පසුබිමක දුම්රිය රියදුරු ඊට වැඩි වේගයකින් ධාවනය කර ඇත්දැයි සොයා විමර්ශන ක්‍රියාත්මකය.

මෙම අනතුරින් රංචුවේ සිටි එක් වන අලියෙක් දුම්රියට යට වී මියගිය අතර තවත් වන අලි දෙදෙනෙක් මීටර් 50ක් පමණ දුරින් පිහිටි ඒ අසල පහත් බිමක වැටී සිටියදී සොයා ගැනුණි.

ඉන් එක් වන අලියෙක් මියගොස් සිටි අතර අනෙක් වන අලියා ද ඉතා අසාධ්‍ය තත්ත්වයෙන් සිටින ආකාරය දක්නට ලැබුණි.

අනතුරට ලක්වූ දුම්රිය ඉන්ධන ටැංකි අටකින් සමන්විත වූ අතර එක් ටැංකියක අන්තර්ගතව තිබූ ඉන්ධන ප්‍රමාණය ලීටර් 45,400කි.

ඒ අනුව පෙට්‍රල් අන්තර්ගත ටැංකි මැදිරි 3ක් ද , ඩීසල් ඇතුළත් ටැංකි මැදිරි 5ක්ද දුම්රියට සම්බන්ධ කර තිබුණි.

අනතුරින් පෙට්‍රල් අන්තර්ගත ටැංකි මැදිරි දෙකක් මුළුමනින්ම පෙරලී ගොස් අනෙක් මැදිරිය ද පීලි පැන තිබුණි.

"අද දෙරණ" වාර්තාකරු සඳහන් කළේ, ටැංකි මැදිරිවල තිබූ පෙට්‍රල් පොළොවට කාන්දු වී ඇති බවය.

දැඩි අවදානම් තත්ත්වයක වුවත් පොලිසියේ විරෝධය මධ්‍යයේ ප්‍රදේශවාසීන් කාන්දු වූ ඉන්ධන පෙට්‍රල් එක්රැස් කළේය.

ටැංකි මැදිරිවලට අමතරව දුම්රිය එන්ජිම සහ නියාමකවරයා ගමන්කරන මැදිරිය ද පිළිපැනීමට ලක්වීමෙන් දුම්රිය මාර්ගයටත් දැඩි අලාභ හානි සිදුව තිබූ අයුරුයි මේ. 

අනතුර සිදුවූ ස්ථානයේ ධාවන වේගය පැයට කිලෝමීටර් 20ක් බවට සඳහන් කර තිබුණත් එය ඉක්මවා ගොස් ඇති බවට වනජීවි නිලධාරීන් සැක පළ කරයි.

එමෙන්ම අනතුරින් තුවාල ලැබූ වන අලියාට වනජීවි නිලධාරීන් ප්‍රතිකාර කරන ආකාරයද දක්නට ලැබුණි.

අද දහවල් වනවිට පෙරලී ගිය ටැංකි මැදිරි 2කේ ඉතිරිව ඇති පෙට්‍රල් රැස් කිරීම සඳහා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ බවුසර්ද එම ස්ථානයට රැගෙන විත් තිබුණි.

අනතුර සම්බන්ධයෙන් මින්නේරිය පොලීසිය, දුම්රිය දෙපාර්තමේන්තු නිලධාරීන් හා වනජීවී නිලධාරීන් එක්ව වැඩිදුර විමර්ශන සිදුකරයි.

ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ අලිමංකඩ හරස් කර නිර්මාණය කළ විදුලි වැට හේතුවෙන් වන අලි දුම්රිය මාර්ගයේ ගමන් කිරීමෙන්  අනතුරු සිදුවූ බවය.

නවීන තාක්ෂණික ක්‍රම තිබුණත් වන අලි දුම්රියේ ගැටීම වළකා ගැනීම සඳහා දුම්රිය දෙපාර්තමේන්තුවේ බලධාරීන් පියවර ගත යුතු බව පාර්ශ්ව රැසක් පෙන්වා දෙයි.

මීට වසර 6කට පමණ පෙර හබරණ - පුවක්පිටිය ප්‍රදේශයේදී මෙම ඉන්ධන ප්‍රවාහන දුම්රියේම ගැටී වන අලි හයදෙනෙකු මිය ගියේය.

එදිනත් ටැංකි මැදිරි 3ක් පෙරලී දුම්රිය මාර්ගයට හානි සිදුවුණි.

මෙවැනි අනතුරු වළක්වා ගැනීම සඳහා දුම්රිය දෙපාර්තමේන්තුව විසඳුම් ලබාදී ඇත්නම් ඒවා ක්‍රියාත්මක කිරීම අවශ්‍ය ප්‍රතිපාදන වෙන්කිරීම රජයේ වගකීමකි.