මහා පරිමාණ දඩමස් ජාවාරමක් කොටුකර ගත් මෙහෙයුම

මහා පරිමාණ දඩමස් ජාවාරමක් කොටුකර ගත් මෙහෙයුම

October 16, 2024   05:08 pm

මහකුඹුක්කඩවල, ජයරාජපුර ප්‍රදේශයේ වනසතුන් දඩයම් කර විවිධ ප්‍රදේශවලට මස් බෙදාහැරීම කළ ස්ථානයක් වටලා සැකකරුවෙක් ව අත්අඩංගුවට ගෙන ඇත.

පාලවිය ගුවන් හමුදා කඳවුරේ බුද්ධී නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත වනජිවි නිලධාරීන් හා පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් එක්ව අද (16) එම ස්ථානය පරීක්ෂා කළ අවස්ථාවේ දී අලෙවී කිරීමට සූදානම් කර තිබු මුව මස් තොගයක් ද හමුවී තිබේ. 

එහිදී මුව මස් කිලෝ 56ක් හා වනසතුන්ගේ ශරීර කොටස් සමග මරණ ලද විශාල මුවකුගේ සමක් ද සොයා ගැනීමට වැටලීමට එක්වු නිලධාරීන් සමත්ව තිබුණී.

මීට අමතරව මස් ගබඩාකර තිබූ අධි ශීතකරණ දෙකක් ද පොලිස් භාරයට ගෙන ඇත.

වැටලීම සිදුකළ අවස්ථාවේ දී ජාවාරම මෙහෙයු වූ ප්‍රධාන සැකකරු පළාගොස් ඇති අතර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ මදුරන්කුලිය ප්‍රදේශයේ සිට මස් රැගෙන යාමට පැමිණ සිටි මෙම ජාවාරමට සම්බන්ධ තවත් පුද්ගලයෙකි.

එම සැකකරු පැමිණ සිටි ලොරි රථය ද පොලිස් භාරයට ගෙන තිබේ.

අදාළ ප්‍රධාන ජාවාරම්කරු විසින් මහකුඹුක්කඩවල රජයේ රක්ෂීතයේ සහ අවට වනාන්තරවල සැරිසරන මුවන්, ගෝනුන්, වල් ඌරන් වැනි වනසතුන් දඩයම් කර අධික මිලකට විකුණා ඇති බව අනාවරණය වී තිබේ.

ඔහුව මීට මාස කිහිපයකට පෙරද වනජිවි නිලධාරින් විසින් ඔහුව අත්අඩංගුවට ගෙන ඇති අතර එම අවස්ථාවේ දී ඔහු සතුව තිබී ඝාතනයකළ වනසතුන් සහ තුවක්කු දෙකක්ද සොයාගෙන තිබුණි.

වනජීවි නිලධාරීන් පැවසුවේ ඒ සම්බන්ධ නඩුව ද තවමත් විභාග වෙමින් පවතින බවයි.

මෙම ජාවාරම්කරු පතොරම් තුවක්කු යොදා ගනිමින් වනසතුන් දඩයම් කරන බවද අනාවරණය වී තිබේ.

වැටලිමේදි අත්අඩංගුවට ගත් සැකකරු හා අදාළ මස් හා අනිකුත් දෑ පුත්තලම අධීකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.