අද දෙරණ YouTube නාලිකාව ග්‍රාහකයින් මිලියන තුන ඉක්මවයි

අද දෙරණ YouTube නාලිකාව ග්‍රාහකයින් මිලියන තුන ඉක්මවයි

October 16, 2024   04:16 pm

ප්‍රවෘත්ති වාර්තාකරණයේදී මෙරට සුවහසක් ජනතාව අප කෙරෙහි තැබූ විශ්වාසය යළි යළිත් තහවුරු කරමින් "අද දෙරණ" තවත් කඩඉමක් පසු කර තිබේ.

ඒ මෙරට ප්‍රධාන ප්‍රවෘත්ති නාලිකා අතුරින් මිලියන 3ක යූටියුබ් ග්‍රාහක සීමාව පසුකර ගිය එකම හා ප්‍රථම යූටියුබ් නාලිකාව බවට පත්වෙමිනි.

එමගින් ශ්‍රී ලංකා ඩිජිටල් ප්‍රවෘත්ති අවකාශයේ කිසිවෙකුටත් බිඳහෙළිය නොහැකි වාර්තාවක් තැබීමට අද දෙරණ යූටියුබ් නාලිකාව සමත්විය.

ඒ අනුව මෙරට ප්‍රවෘත්ති නාලිකා අතුරින් වැඩිම යූටියුබ් ග්‍රාහකයින් පිරිසක් සිටින යූටියුබ් නාලිකාව බවට "අද දෙරණ" ඉදිරියට පැමිණ තිබේ.

"අද දෙරණ යූටියුබ් නාලිකාව, දේශීය පුවත් පමණක් නොව විදෙස්  පුවත් මෙන්ම ක්‍රීඩා පුවත් ද ඩිජිටල් අවකාශය හරහා හැකි ඉක්මණින් නිවැරදිව සිය ග්‍රාහකයින් ට ලබාදීමට සැදී පැහැදී සිටී.

මෙරට ප්‍රවෘත්ති සොයා යන ග්‍රාහකයින්ට ටෙලිවිශනය ඔස්සේ පමණක් අද දෙරණ ප්‍රවෘත්ති නැරඹීමට තිබු අවස්ථාව තවදුරටත් පුළුල් කිරීමේ අරමුණින් 2014 වසරේ ඔක්තෝබර් මාසයේ දී අන්තර්ජාලය ඔස්සේ ද "අද දෙරණ" පුවත් නැරඹීමට අවස්ථාව ලබාදීමට අද දෙරණ යූටියුබ් නාලිකාව හඳුන්වා දෙනු ලැබීය.

එදා මෙදා තුර අද දෙරණ යූටියුබ් නාලිකාව සතු වීඩියෝ 131,000ක ප්‍රමාණයක් සම්පූර්ණ නැරඹුම් වාර බිලියන 1.7 ඉක්මවා ගොස් තිබීම ද විශේෂත්වයකි.

"අද දෙරණ" ඔස්සේ විකාශය වූ ප්‍රවෘත්ති, කාලීන වැඩසටහන් හා අධ්‍යාපනික වැඩසටහන් ආදී වැඩසටහන් රැසක් මෙම යූටියුබ් නාලිකාව ඔස්සේ ප්‍රේක්ෂකයන් වෙත තවතවත් ළං වූ අතර එම ඇතැම් ප්‍රවෘත්ති වාර්තාගත ජනප්‍රියත්වයක් අත්පත් කර ගත්තේය.

මාසිකව "අද දෙරණ YouTube"නාලිකාව හා සම්බන්ධවන නව ග්‍රාහකයින් ගණන මේ වනවිට 100,000 ඉක්මවා යයි.

ඉදිරියටත් උසස් තාක්ෂණය භාවිත කරමින් යූටියුබ් ප්‍රේක්ෂකයින් වෙත සත්‍යය ප්‍රථමයෙන් ලබාදීම අපගේ අපේක්ෂාව වන අතර, ඔබ අප කෙරෙහි තැබූ විශ්වාසය තවදුරටත් ශක්තිමත් කරමින් "අද දෙරණ යූටියුබ් නාලිකාව" වෙත පිවිස අප හා එක්වන ලෙස ඔබ සැමට යළිත් ඉතා ආදරයෙන් හා ගෞරවයෙන් ආරාධනා කර සිටිමු.