කළු මුහුදේ යුක්‍රේන ධාන්‍ය නෞකා දෙකකටත් ප්‍රහාර
සයුරෙන් එතෙර

කළු මුහුදේ යුක්‍රේන ධාන්‍ය නෞකා දෙකකටත් ප්‍රහාර

October 8, 2024   03:48 pm

දකුණුදිග යුක්‍රේනයේ ඔඩෙසා වරාය පරිශ්‍රයේදී සිය ධාන්‍ය අපනයනය කරන නෞකා දෙකක් රුසියානු මිසයිල ප්‍රහාරවලට ලක් වූ බව යුක්‍රේන විදේශ අමාත්‍ය ඇන්ඩ්‍රිල් සයිබිහා පවසයි. 

එම රුසියානු ප්‍රහාර හෙළා දුටු යුක්‍රේන විදේශ අමාත්‍යවරයා කණ මුහුදේ නිදහස් නෞකා ගමනාගමනය සහතික කරලීම සඳහා සියලුම වගකිවයුතු රාජ්‍යයන් සහ සංවිධාන කටයුතු කළයුතු බව අවධාරණය කළේය. 

කෙසේ වෙතත් මේ වන තෙක් ඔහු ප්‍රහාරයට ලක් වූ නෞකාවල තත්ත්වය අනාවරණය කර නොමැති බව සඳහන් වේ.

සිවිල් ඉලක්ක වෙත ප්‍රහාර එල්ල නොකරන බව නිරන්තරයෙන් පවසන රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය ද මේ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වා නොමැති බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි. 

ඔඩෙසා කලාපය බාර යුක්‍රේන ආණ්ඩුකාරවරයා සඳහන් කළේ රුසියානු මිසයිල ප්‍රහාරයෙන් වරාය සේවකයෙකු මියගිය අතර විදේශීය නෞකා කාර්ය මණ්ඩල සාමාජිකයන් 05දෙනෙකු තුවාල ලැබූ බවය.

ප්‍රහාරයට ලක්වූ එක් නෞකාවක් ඔඩෙසා වරායට සේන්දු වී ඇත්තේ ඊට පැය කිහිපයකට පෙරය. 

රුසියාව මේ ආකාරයෙන් කළු මුහුදේ නෞකා ගමනාගමනය අඩාල කිරීමෙන් ගෝලීය ආහාර සුරක්ෂතතාව අවදානමට ලක්කරන බව යුක්‍රේනය නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ඔලෙක්සි කුලේබා සඳහන් කර තිබේ. 

එමඟින් ආහාර ආනයනයන් මත යැපෙන සංවේදී කලාපවල අස්ථාවරත්වයක් ඇති කරන බවත් ඔහු සඳහන් කර ඇත. 

ප්‍රහාරයට ලක් වූ අනෙක් නෞකාවේ ඉරිඟු ටොන් 6,000 පටවා තිබු බවද වාර්තා වේ. 

නමුත් එම නෞකාවේ සිටි සිරියානු සහ ඊජිප්තු ජාතිකයන්ගෙන් සමන්විත 15 දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලයට මිසයිල ප්‍රහාරයෙන් හානියක් සිදු වී නොමැති බව වාර්තා විය. 

කළු මුහුදේ යුක්‍රේන නෞකාවලට රුසියාව නිරන්තරයෙන් ප්‍රහාර එල්ල කරන අතර යුක්‍රේනයද රුසියානු නෞකාවලට කිහිපවිටක්ම ප්‍රහාර එල්ල කර ඇත. 

මේ අතර යුක්‍රේනයෙන් පිටත බෝල්ටික් කලාපයේ ස්ථානගත කර තිබූ රුසියානු යුද නෞකාවකට ප්‍රහාරයක් එල්ල කිරීම සඳහා යුක්‍රේනය විසින් රහසිගත මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇත.

ගුර් (GUR) නමැති යුක්‍රේන බුද්ධි සේවා ආයතනය ක්‍රියාත්මක කළ එම මෙහෙයුමේ දී මෙම රුසියානු බෝම්බ නාශක (Minesweeper) නෞකාවේ අබිරහස අන්දමින් ඇති වු සිදුරක් හේතුවෙන් ඊට ජලය ඇතුළු වී ඇති බව සොයාගෙන තිබේ.

ඒ අනුව රුසියාව විසින් යුද මෙහෙයුම් සඳහා යොදාගැනීමට අපේක්ෂා කළ මෙම නෞකාවට විශාල හානියක් සිදුව ඇති බව යුක්‍රේනය සඳහන් කරයි. 

යුක්‍රේනයට කිලෝමීටර් 300ක් පමණ වයඹ දෙසින් පිහිටි කලිනින්ග්‍රාඩ්හිදී මෙම රහසිගත මෙහෙයුම දියත්කිරීම විශේෂත්වයකි. 

මීට පෙර රුසියානු ගෑස් යුරෝපයට ප්‍රවාහනය කළ සබ්මැරීන නල මාර්ගයට ද හානි සිදුකළේ යුක්‍රේනය විසින් බවට චෝදනා එල්ල වී තිබුණි.