මාලදිවයින බේරාගැනීමට මෝදි ඉදිරිපත්වෙයි
සයුරෙන් එතෙර

මාලදිවයින බේරාගැනීමට මෝදි ඉදිරිපත්වෙයි

October 8, 2024   04:33 pm

ආර්ථික අර්බුදයකට මුහුණදී සිටින මාලදිවයිනේ ආර්ථිකය ශක්තිමක් කිරීම සඳහා සහාය දැක්වීමට ඉන්දියාව ඉදිරිපත් වී තිබේ.

ඒ සම්බන්ධයෙන් නිවේදනය කර ඇත්තේ මාලදිවයිනේ ජනාධිපති මොහම්මඩ් මුයිසු සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදී අතර පැවති සාකච්ඡා වලින් අනතුරුවය.

එම සහායට ඩොලර් මිලියන 400ක මූල්‍ය හුවමාරු ගනුදෙනුවක් මෙන්ම රුපියල් බිලියන 30ක තවත් මූල්‍ය හුවමාරු එකඟතාවයක් අයත්ය.

එමගින් දේශීය සමාගම් සඳහා ඩොලර්වලින් නොව දේශීය මුදල් යොදාගෙන ව්‍යාපාර කිරීමට අවස්ථාව හිමිවෙයි.
   
මාලදිවයිනේ ජනාධිපතිවරයා සිය ධුරයට පත්වීමෙන් අනතුරුව එරට සිදුකෙරෙන ඉන්දීය මැදිහත්වීම් සම්බන්ධයෙන් විවේචනාත්මකව අදහස් දැක්වීය.

ඒ හේතුවෙන් දෙරට අතර හොඳහිත යම් තරමකින් පළුදු වී තිබුණි.

මාලදිවයිනේ විදෙස් විනිමය සංචිතය ඩොලර් මිලියන 440ක් දක්වා අඩුවී ඇති අතර ඒ හේතුවෙන් ණය ගෙවීමේ ගැටලුවකට ඔවුන් මුහුණදී තිබේ.

එම සංචිතය ආනයන කටයුතු සඳහා ප්‍රමාණවත් වන්නේ මාස 1 1/2කට පමණි.