බයිඩන්ගෙන් ජනපති අනුරට සුබ පැතුම්

බයිඩන්ගෙන් ජනපති අනුරට සුබ පැතුම්

October 8, 2024   04:16 pm

ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය තවදුරටත් තහවුරු කරමින් පසුගිය ජනාධිපතිවරණය සහ පශ්චාත් ජනාධිපතිවරණ සමය ඉතා සාමකාමී අන්දමින් පවත්වා ගැනීම පිළිබඳව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් මහතා සිය ප්‍රසාදය පළ කර තිබේ. 

එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර පවතින දීර්ඝ කාලීන සබඳතා සිහිපත් කරමින් සමස්ත අමෙරිකානු ජනතාව වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත සුබපැතුම් එක් කරමින් ජෝ බයිඩන් මහතා මේ බව පවසා ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. 

අමෙරිකානු ජනාධිපති බයිඩන් මහතා සිය සුබ පැතුම් පණිවුඩයෙහි මෙසේ සඳහන් කර තිබේ. 

"මෙම මැතිවරණය ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී ආයතනවල ශක්තිය සහ ප්‍රජාතන්ත්‍රවාදයේ පදනම වන සාමකාමී නිදහස් හා සාධාරණ මැතිවරණයක් තුළින් ඔවුන්ගේ අනාගතය හැඩගස්වා ගැනීම සඳහා ජනතාව තුළ වන කැපවීම ඉස්මතු කෙරේ."

සියලුම ශ්‍රී ලාංකික පුරවැසියන් සඳහා ස්ථාවරත්වය, සෞභාග්‍යය සහ ප්‍රගතිය අත්පත් කරදීම සඳහා අමෙරිකා එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර සහයෝගීතාව වර්ධනය කර ගැනීමේ වැදගත්කම ද ජනාධිපති ජෝ බයිඩන් මහතා අවධාරණය කර ඇත. 

සියලුම ශ්‍රී ලාංකික පුරවැසියන් සඳහා ස්ථාවරත්වය, සෞභාග්‍යය සහ ප්‍රගතිය අත්පත් කරදීම සඳහා දෙරට අතර සහයෝගීතාවයේ වැදගත්කම පිළිබඳව ද එක්සත් ජනපද ජනාධිපතිවරයා අවධාරණය කර තිබේ.

ප්‍රධාන ක්ෂේත්‍ර කිහිපයක සහයෝගීතාව ඉස්මතු කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ නායකත්වය යටතේ ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම පිළිබඳව ජනාධිපති බයිඩන් මහතා විසින් සුභවාදී අදහස් පළ කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.  

ආර්ථික වර්ධනය, කලාපීය ආරක්ෂාව සහ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය යන ක්ෂේත්‍ර ඔස්සේ දෙරට අතර සහයෝගීතාව වර්ධනය කර ගැනීම උදෙසා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමග කටයුතු කිරීමට අපේක්ෂා කරන බවත්, ශ්‍රී ලංකාවේ සියලුම පුරවැසියන් සඳහා ස්ථාවර, සෞභාග්‍යවත් සහ වඩා සාධාරණ රටක් පිළිබඳ වන දැක්ම සාක්ෂාත් කර ගැනීමට එක්සත් ජනපදයේ සහාය ලබා දෙන බවත් අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් මහතා යොමුකළ සුබපැතුම් පණිවුඩයේ වැඩිදුරටත් සඳහන් කර ඇති බව පවසයි. 

මෙම පණිවුඩය අමෙරිකානු - ශ්‍රී ලංකා සබඳතාවල නව පරිච්ඡේදයක් සනිටුහන් කරනු ලබන අතර, කලාපයට ප්‍රතිලාභ ගෙන දෙන සහ ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම ආරක්ෂා කරන මුලපිරීම් සම්බන්ධයෙන් සහයෝගයෙන් කටයුතු කිරීමට දෙරට තුළම ඇති සූදානම ද පෙන්නුම් කරන බව ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරත් සිය නිවේදනයේ සඳහන් කර තිබේ.