අනුස්මරණයට එල්ල වූ මිසයිල ප්‍රහාරය
සයුරෙන් එතෙර

අනුස්මරණයට එල්ල වූ මිසයිල ප්‍රහාරය

October 8, 2024   03:02 pm

ඔක්තෝබර් 07 හමාස් ප්‍රහාරයේ පළමු වසර අනුස්මරණය කෙරෙද්දී ඊශ්‍රායලයේ හයිෆා නගරයට සහ ටිබෙරියාස් නගරය වෙත හිස්බුල්ලා සහ හමාස් මිසයිල ප්‍රහාර එල්ල වීම ගැටුම් තවදුරටත් ව්‍යාප්තවීමේ සලකුණක් ලෙස ආරක්ෂක විචාරකයෝ හඳුන්වා දෙති. 

ඊශ්‍රායලයේ තුන්වැනි විශාලතම නගරය වූ හයිෆා නගරයේ දකුණු දෙසින් පිහිටි හමුදා කඳවුරක් ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය එල්ල කළ මිසයිල ප්‍රහාරයේ ඉලක්කය වී තිබේ. 

ඒ සඳහා වඩාත් විශාල පිපිරිම් බලයක් සහිත Fadi-1 (ෆාඩි වන්) වර්ගයේ මිසයිල භාවිත කර ඇති බව වාර්තා වේ.

එමෙන්ම හයිෆා නගරයේ උතුරු කොටසටද මෙම මිසයිල පතිත වී තිබේ.

හයිෆා නගරයේ සිට කිලෝමීටර් 65ක් පමණ ඈතින් පිහිටි ටිබෙරියාස් වෙත ප්‍රහාරයක් එල්ල කර ඇත්තේ හමාස් සංවිධානය විසිනි. 

ඊශ්‍රායල හමුදාව සඳහන් කළේ, ඊයේ දිනය තුළ පමණක් ඊශ්‍රායල භූමිය වෙත මිසයිල සහ රොකට් ප්‍රහාර 190ක් පමණ එල්ල වූ බවය. 

එහිදී පුද්ගලයින් 12දෙනෙකු තුවාල ලබා තිබේ.

දකුණු ලෙබනනයේ හිස්බුල්ලා ඉලක්ක වෙත සිය ගුවන් හමුදා ප්‍රහාරක යානා මඟින් තවත් පුළුල් ගුවන් ප්‍රහාර මාලාවක් දියත් කළ බව ඊශ්‍රායල හමුදාව ප්‍රකාශ කළේය.

එමෙන්ම ලෙබනන ගොඩබිම් මෙහෙයුමේදී ඊයේ තවත් ඊශ්‍රායල සෙබළුන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඒ අනුව ලෙබනන ගොඩබිම් මෙහෙයුමේදී මියගිය ඊශ්‍රායල සෙබළුන් සංඛ්‍යාව 11 දක්වා ඉහළ ගොස් ඇත.

ලෙබනනයට එල්ල කරන ඊශ්‍රායල ගුවන් ප්‍රහාර සහ ගොඩබිම් මෙහෙයුම් හේතුවෙන් මේවන විට මිලියන 1.2ක් පමණ අවතැන් වී සිටී.

ඊශ්‍රායලය විසින් එල්ල කරන ගුවන් ප්‍රහාර උත්සන්න කිරීම පිළිබඳව ලෙබනන වාසීන් බිය පළකරන්නේ ඔවුන්ට ද ගාසා තීරයට සිදුවු ආකාරයේ විනාශයකට මුහුණදීමටයි සිදුවිය හැකි වීම හේතුවෙනි.

වසරක් තිස්සේ ක්‍රියාත්මක වූ ඊශ්‍රායල ගුවන් සහ ගොඩබිම් ප්‍රහාර නිසා ගාසා තීරයේ ගොඩනැගිලි සහ යටිතල පහසුකම්වලින් 2/3ක්ම විනාශයට පත්වී තිබේ. 

එහි ගොඩනැගුණු සුන්බුන් ඉවත් කිරීම ද ගාසා තීරයේ පලස්තීනුවන්ට දැන් ගැටලුවක් වී තිබේ.

මේ අතර ඊශ්‍රායල හමුදාව ලෙබනන වෙරළ තීරයන් වෙත යන පුද්ගලයින්ට සහ බෝට්ටු ධාවකයන්ට අරාබි බසින් අනතුරු ඇඟවීමක් නිකුත්කර තිබෙන්නේ, තමන් ඉක්මනින්ම හිස්බුල්ලා ඉලක්කවලට මුහුදුතීරය හරහා ප්‍රහාර ආරම්භ කරන නිසා වෙරළින් ඉවත්ව සිටින ලෙසය. 

මේ අතර ඊශ්‍රායල ප්‍රහාරවලින් ලෙබනනයේ තවත් ජීවිත හානි වාර්තා වී තිබේ.

දේශසීමා ප්‍රදේශයේ නාගරික ගොඩනැගිල්ලකට එල්ල වූ ප්‍රහාරයකදී ලෙබනන ගිනිනිවන භටයින් දසදෙනෙකු මියයාමද ඊට ඇතුළත්ය.

මේ වනවිට ඊශ්‍රායල ප්‍රහාරවලින් මියගිය ලෙබනන වාසීන්ගේ සංඛ්‍යාව 2,000කට අධිකය. 

ඊශ්‍රායලය ලෙබනනයේ ගොඩබිම් ප්‍රහාරයක් දියත්කළේ එය සීමිත, ඉලක්කගත හිස්බුල්ලා මර්මස්ථාන පිහිටි ප්‍රදේශවලට සීමාවු මෙහෙයුමක් ලෙස හඳුන්වමිනි. 

එහෙත් දැන් එම මෙහෙයුම ක්‍රමයෙන් පුළුල් වන ආකාරයක් දක්නට ලැබේ. 

හිස්බුල්ලා සන්නද්ධ සංවිධානය ක්‍රියාකාරීව සිටින දේශසීමා ප්‍රදේශයෙන් ඔබ්බට ලෙබනනය තුළට යාමට අදහසක් නොමැතිබව ඊශ්‍රායල හමුදාව ප්‍රකාශ කරන්නේ මෙවන් පසුබිමකයි.

ඊශ්‍රායලයට සහාය දක්වන සුපිරි බලවතා වන අමෙරිකා එක්සත් ජනපදයද ප්‍රකාශ කළේ, ලෙබනනයේ ඊශ්‍රායල හමුදා ගොඩබිම් මෙහෙයුම සීමිත මෙහෙයුමක් වනු ඇති බව තමන් විශ්වාස කරන බවය.

වොෂින්ටන් නුවර ඊයේ (07) පැවති මාධ්‍ය හමුවේදී අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශක මැතිව් මිලර් ඒ බව සඳහන් කළේය. 

බීරූට් ගුවන්තොටුපළ වෙත ඇදෙන මාර්ග විවෘතව තැබීම සහතික කළ යුතු බව ඊශ්‍රායලයට  දක්වා ඇතැයිද ඔහු කියා සිටියේය. 

ලෙබනනයේ යොදවා සිටින එක්සත් ජාතීන්ගේ සාම සාධක භටයින් අනතුරට හෙළීමද අමෙරිකාව අපේක්ෂා නොකරන බව රාජ්‍ය දෙපාර්තමේන්තුව ප්‍රකාශකයා සඳහන් කළේය.

යුනිෆිල් (UNIFIL) නැත්නම් ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අන්තර්වාර බළකාය 1978 වසරේ මාර්තු මාසයේදී ආරක්ෂක මණ්ඩල යෝජනාවකින් ස්ථාපිත කෙරුණේ ලෙබනනයේ ඊශ්‍රායල හමුදා ඉවත්කරගැනීම සහතික කරගැනීමට හා ලෙබනනය තුළ සාමය ස්ථාපිත කිරීමටය.

ඊශ්‍රායල මෙහෙයුම් තුළින් ලෙබනනයේ දැන් මතුවී ඇති වාතාවරණය පිළිබඳව යුනිෆිල් මෙහෙයුම පසුගිය ඉරිදා සිය කණස්සල්ල පළ කර තිබුණි 

ලෙබනනයේ රාජ්‍ය හමුදාව හැර අනෙකුත් සන්නද්ධ කණ්ඩායම් නිරායුධ කිරීම සඳහා රජයේ හමුදාවලට සහාය වීමද එක්සත් ජාතීන්ගේ අන්තර්වාර සාම බලකායේ කාර්යභාරයට අයත්ය. 

එහෙත් මෙය ලෙබනනයේ රාජ්‍ය හමුදාව සහ හිස්බුල්ලා සංවිධානය අතර විරසකයක් ඇතිවීමටද හේතුවී තිබේ.

යුනිෆිල් සඳහන් කළේ, සාමසාධක භටයින් සහ තවදුරටත් ලෙබනනය තුළ ක්‍රියාත්මක වන අතර ඔවුන් හමුදාවන් අතර (රජයේ හෙස්බුල්ලා) සංනිවේදනයට සහාය වන බවය. 

දකුණු ලෙබනනයේ ප්‍රධාන වශයෙන් ක්‍රියාත්මක හිස්බුල්ලා සංවිධානය ඊශ්‍රායලය සමග රොකට් වෙඩි සහ මිසයිල හුවමාරුවේ නිරතවන්නේ පසුගිය වසරේ ඔක්තෝබර් 8 වැනිදා සිටය. 

මේ අතර හමාස් සංවිධානයේ හිටපු නායක, දැනට කටාරයේ සිටින කාලිඩ් මෙෂාල් රොයිටර්ස් පුවත් සේවය වෙත ප්‍රකාශ කර ඇත්තේ සිය සංවිධානය ෆීනික්ස් කුරුල්ලා මෙන් අළු මතින් නැඟී සිටිනු ඇති බවය. 

වසරක් පුරා පැවති ගාසා යුද්ධයේදී විශාල හානි සිදුවුවත් හමාස් සංවිධානය තවදුරටත් නව සාමාජිකයන් බඳවා ගන්න අතර ආයුධ ද නිෂ්පාදනය කරන බව ඔහු සඳහන් කර තිබේ.

හමාස් ප්‍රහාරය ගැන විමසීමේදී එය 1948 වසරේ ඊශ්‍රායල දේශය බිහිකිරීමේදී පලස්තීනුවන් පලවා හැරි "නකබා" මෙහෙයුම දක්වා පැතිරුණු අර්බුදයක් ලෙස හුවා දැක්වීමට කාලිඩ් මෙෂාල් උත්සාහ කර තිබේ.

68 හැවිරිදි කාලිඩ් මෙෂාල් හමාස් සංවිධානයේ නව නායක යහ්යා සින්වාර් යටතේ විදෙස්ගතව තවදුරටත් ක්‍රියාකාරීව සිටී.

1997 වසරේදී ඊශ්‍රායලය ක්‍රියාත්මක කළ ඝාතන තැතින් දිවිගලවාගත් කාලිඩ් මෙෂාල් ප්‍රකාශ කළේ හමාස් සංවිධානය තවදුරටත් ගරිල්ලා ප්‍රහාරක හැකියාවෙන් යුක්ත බවය. 

මේ අතර මධ්‍යම ඊශ්‍රායලයේ ජෆා නගරය වෙත ඊයේ දිනයේ මිසයිල දෙකක් එල්ල කළ බව යේමනයේ හූති සංවිධානය ප්‍රකාශ කළේය.

එම මිසයිල ප්‍රහාර වැළැක්වීමට හැකිවූ බව ඊශ්‍රායල හමුදාව ප්‍රකාශ කළේ, ඒවා එල්ල කළේ කවුරුන්ද යන්න සඳහන් නොකරමිනි. 

පලස්තීන හමාස් සංවිධානය, ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය මෙන්ම යේමනයේ හූති කැරලිකරුවන්ට ද සහාය, මාර්ගෝපදේශ සහ අවිආයුධ ලබාදෙන්නේ ඉරානය බව ප්‍රසිද්ධ කරුණකි. 

මේ අතර බීරූට් අගනවරට දකුණින් පිහිටි තදාසන්න ප්‍රදේශයකට ඊයේ රාත්‍රියේ එල්ල කළ ප්‍රහාරයකින් හිස්බුල්ලා සංවිධානයේ නායකයෙකු මියගොස් ඇතැයි ඊශ්‍රායල හමුදාව පවසයි. 

එම සංවිධානයේ සේවා සැපයුම් සහ අයවැය භාරව සිටි සුහයිල් හුසේනි නැමැත්තා මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බව විශ්වාස කෙරේ.

පසුගිය මාසයේ බීරූට් නුවරට එල්ල කළ ප්‍රහාරයකින් හෙස්බුල්ලා නායක නසරල්ලා ඝාතනය කිරීමෙන් පසු, ඊශ්‍රායල හමුදා ප්‍රහාරවලින් හෙස්බුල්ලා ප්‍රධානීන් කිහිපදෙනෙකුම ජීවිතක්ෂයට පත්වුණි.

ලෙබනනයේ ගොඩබිම් හමුදා මෙහෙයුමේ නිරත ඊශ්‍රායල හමුදා අද ලෙබනනයේ නිරිත දෙසින් නව ප්‍රදේශයකට ඇතුළු වී තිබේ.

ඒ ලෙබනනය සමග රාජ්‍ය තාන්ත්‍රික විසඳුමකට එළැඹෙන ලෙස ජාත්‍යන්තර ප්‍රජාව ඊශ්‍රායලයෙන් ඉල්ලීම් කරද්දීය. 

මේ අතර පසුගිය ඔක්තොබර් 1 වැනිදා ඊශ්‍රායලයට දැවැන්ත මිසයිල ප්‍රහාරයක් එල්ල කළ ඉරානය ඊට ප්‍රතිචාර නොදක්වන ලෙසට ඊශ්‍රායලය වෙත තවත් අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.

ඉරාන යටිතල පහසුකම්වලට එල්ල කරන ඕනෑම ප්‍රහාරයකදී ඊට වඩා ප්‍රබල ප්‍රතිප්‍රහාරයක් අපේක්ෂා කරන ලෙස ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරගචි සඳහන් කළේ, ඉරාන රාජ්‍ය රූපවාහිනිය ඔස්සේ ප්‍රකාශයක් කරමිනි. 

මේ නිසා ඉරානයේ හැකියාවන් පරීක්ෂාකිරීමට උත්සාහ නොකරන ලෙසට ඔහු අනතුරු අඟවා සිටියේය.

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කරන ප්‍රහාරයකදී එරට තෙල් නිෂ්පාදන පහසුකම් ඉලක්ක විය හැකි බව ප්‍රකාශ වුණි. 

මේ නිසා ඉරානයේ විශාලතම තෙල් අපනයන අංගනය වෙත ගිය ඉරාන තෙල් අමාත්‍යවරයා එහි ආරක්ෂාව සම්බන්ධයෙන් සොයාබැලීමක් සිදුකර තිබේ.