මෙරට ජනතාව ගැන සෞඛ්‍ය අංශයෙන් තක්සේරුවක්

මෙරට ජනතාව ගැන සෞඛ්‍ය අංශයෙන් තක්සේරුවක්

June 17, 2024   06:09 pm

කලාපයේ රටවල් සමග සැසදීමේදී වැඩි වශයෙන් රෝහල් සහ බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර සේවාවන් ලබා ගැනීමට යොමුවන්නේ මෙරට ජනතාව බව සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසයි.

එමෙන්ම මෙරට පුරවැසියෙකු වසරකට හය වතාවක් ප්‍රතිකාර ලබාගැනීමට රෝහල් වෙත පැමිණෙන බව සෞඛ්‍ය ලේකම්වරයා පෙන්වාදෙයි.

මෙම තත්ත්වය තුළ රෝග නිවාරණය සම්බන්ධයෙන් ජනතාව තුළ අවබෝධයක් ඇති කළ යුතු බව මාතලේ සහ දඹුල්ල රෝහල් නිරීක්ෂණයට එක්වෙමින් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා එම අදහස් පළ කළේය.

"අපේ රටේ දකින දෙයක් තමයි ජනගහනය මේ සෞඛ්‍ය පද්ධතියට පැමිණෙනවා වැඩියි. මේ කාලපයේ රටවල් එකක් ගත්තාම වැඩිපුරම රෝහල්වල භාහිර රෝගී අංශයට එන්නේ අපේ රටේ. මිලියන 55ක් අපේ පද්ධතියට එනවා. තවත් මිලියන 55ක් පුද්ගලික අංශයට යනවා බෙහෙත් ගන්න. එතකොට සාමාන්‍යයෙන් එක පුරවැසියෙක් 06 පාරක් ප්‍රතිකාර ගන්න එනවා. ඒ කියන්නේ අපේ ගැටලුවක් තිවෙනවා අපේ රෝග නිවාරණ අංශයේ සහ අපි දෙන ප්‍රතිකාරවල. අපි ඒ නිසා සෞඛ්‍ය ප්‍රවර්ධනය කියන එක... අර රෝගීන්ට රෝග ඇතිවීම වැළැක්වීම සඳහා වැඩසටහනක් අපි ශක්තිමත් කළයුතුයි. රෝහල් ගතවීම් ගත්තාම ලෝකේ වැඩිම රෝහල්ගතවීම් වැඩිම රට තමයි අපේ රට. දෙවනි වශයෙන් ඉන්නේ වැඩිහිටි ජනගහන ගොඩක් ඉන්න රටවල් අපි ඒකත් සොයා බලන්න ඕනේ. ප්‍රතිකාර බාහිර රෝගී අංශයෙන් ශක්තිමත් කළොත් රෝහල් ගතවීම් අඩුවෙන්න පුළුවන්. ප්‍රතිකාර කරන කාලසීමාව වැඩි කළොත් රෝගීන් අඩුවෙන්න පුළුවන්. හවස 04න් පස්සේ ආපුවහම පොඩි ලෙඩකට වුණත් රෝහලට ඇතුළු කරනවා. සමහරවිට රෝහලට ඇතුළු කළාම වියදම ගොඩක් වැඩියි."