අත්අඩංගුවට ගත් IS ත්‍රස්ත සාමාජිකයින්ගේ විමර්ශන ගැන තීරණයක්

අත්අඩංගුවට ගත් IS ත්‍රස්ත සාමාජිකයින්ගේ විමර්ශන ගැන තීරණයක්

May 23, 2024   08:43 am

ඉන්දියාවේ අහමදාබාද් ගුවන්තොටුපොළේ දී ISIS සංවිධානයේ සාමාජිකයින් ලෙස අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයින් සිව්දෙනා සම්බන්ධයෙන් විමර්ශන සිදුකිරීම සඳහා විශේෂ කමිටුවක් පත්කර තිබේ.

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂවරුන්ගේ ප්‍රධානත්වයෙන් එම කමිටුව පත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේය.

පසුගිය 20 වන දින ඉන්දියාවේ අහමදාබාද් ගුවන්තොටුපොළේ දී මෙම ශ්‍රී ලාංකිකයින් සිව්දෙනා අත්අඩංගුවට ගන් ලැබීය.

අත්අඩංගුවට ගත් මොවුන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලින් තොරතුරු රැසක් හෙළි වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.

අදාළ පුද්ගලයින් පාකිස්ථානයේ ISIS නායකයෙකු ලෙස කටයුතු කරන අබු නමැත්තා සමග සම්බන්ධ වී ප්‍රහාරයක් සිදුකිරීමට සැලසුම් කර ඇති බව ද එහිදී අනාවරණය වී තිබේ.

අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයින් සිව්දෙනා ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ සාමාජිකයින් බවට ද අනාවරණය වී ඇති බව ඉන්දියාවේ ද හින්දු පුවත්පත වාර්තා කර ඇත.

භාරතීය ජනතා පක්ෂයේ ජ්‍යේෂ්ඨ නායකයින් පිරිසක් ඝාතනය කිරීමට මොවුන් සැලසුම් කර ඇති බව ද විමර්ශනවලින් අනාවරණය වී ඇති බව හින්දු පුවත් පත පවසයි.

අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයින් සිව්දෙනා අතර විනිසුරු සරත් අඹේපිටිය ඝාතනය සම්බන්ධයෙන් මරණ දඬුවම නියම වී සිටි නියාස් නවුෆර් හෙවත් පොට්ට නවුෆර් නමැත්තාගේ පුත්‍රයෙකු වන බවට ද හඳුනාගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.