දිවයින පුරා වෙසක් කලාප 420ක්

දිවයින පුරා වෙසක් කලාප 420ක්

May 23, 2024   07:56 am

මෙවර වෙසක් උත්සවයට සමගාමීව දිවයින පුරා වෙසක් කලාප 420කට අධික සංඛ්‍යාවක් පැවැත්වීමට සැලසුම් කර තිබේ.

දිවයින පුරා තොරණ 321කට වැඩි සංඛ්‍යාවක් ඉදිකර ඇති බව වාර්තා වේ.

සෑම වසරකම පවත්වන දෙමටගොඩ, තොටලග, පිටකොටුව, නවලෝක ආදී තොරණ මෙවර ද විචිත්‍රවත්ව ප්‍රදර්ශනය කිරීමට සූදානම් කර තිබේ.

කොළඹ දිස්ත්‍රික්කයට අමතරව දිවයිනේ සෙසු ප්‍රදේශවල ද තොරණ මෙන්ම විශාල පහන් කූඩු ද නිර්මාණය කර ඇති බව "අද දෙරණ" වාර්තාකරුවන් සඳහන් කළේය.

වෙසක් දිනයට සමගාමීව දිවයින පුරා දන්සැල් 5,000කට ආසන්න සංඛ්‍යාවක් පැවැත්වීම සඳහා සැලසුම් කර ඇති බව වාර්තා වේ.

වෙසක් කලාප ආශ්‍රිතව මෙන්ම ජනතාවගේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරින් 18,000කට අධික සංඛ්‍යාවක් යොදවා ඇති බවෙ පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා සඳහන් කළේය.

මේ අතර දෙරණ මාධ්‍ය ජාලය සංවිධානය කරනු ලබන මහ බත් දන්සැල කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේ දී අද රාත්‍රී 8.00ට ආරම්භ කිරීමට මේ වන විට සියලු කටයුතු සුදානම් කර තිබේ.

අදට යෙදෙන වෙසක් පොහොය නිමිත්තෙන් සිරකරුවන්ට විශේෂ රාජ්‍ය සමාවක් පිරිනැමීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.

ඒ අනුව දිවයිනේ සියලුම බන්ධනාගාරවලින් සිරකරුවන් 278 දෙනෙකු නිදහස් කිරීමට නියමිත බව බන්ධනාගාර කොමසාරිස් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණී දිසානායක මහතා සඳහන් කළේය.

වැලිකඩ බන්ධනාගාරයෙන් සිරකරුවන් 15 දෙනෙකු සහ මහර බන්ධනාගාරයෙන් සිරකරුවන් 37 දෙනෙකු මෙහිදි නිදහස් කිරීමට නියමිතය.

නිදහස ලබන සිරකරුවන් අතර කාන්තා රැඳවියන් 10 දෙනෙකු ද සිටින බව බන්ධනාගාර කොමසාරිස් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණී දිසානායක මහතා සඳහන් කළේය.

මේ අතර අද සහ හෙට දිනයන්හි බන්ධනාගාර ගත රැඳවියන්ට අමුත්තන් බැලීම සඳහා විශේෂ අවස්ථාවක් ලබාදීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.