බලය ඇත්තෝ  වයඹ රංග ශාලාව ට කළ වින්නැහිය

බලය ඇත්තෝ  වයඹ රංග ශාලාව ට කළ වින්නැහිය

June 15, 2024   09:16 pm

අධික මුදලක් වැය කරමින් කොළඹ නෙළුම් පොකුණ රංග ශාලාවට පමණක් දෙවැනි වන ලෙස ඉදිකිරීම් කටයුතු ආරම්භ කරන ලද වයඹ ජනකලා කේන්ද්‍රයේ රංග ශාලාව මේ වනවිට මුළුමනින්ම පාහේ පරිහාණියට පත්ව තිබේ.

එහි ඉදිකිරීම් කටයුතු ද මේ වනවිට අතරමඟ නැවතී තිබේ.

"අද දෙරණ උකුස්සාගේ" අද අනාවරණය ඒ පිළිබඳවයි.

කාලයක් මුළුල්ලේ කලාකරුවන් බිහිකළ ශ්‍රී ලංකාවේ කලාකරුවන්ගේ හදවත බඳු රංග ශාලාවකට අත්වී ඇති දුක්ඛිත ඉරණමක් පිළිබඳ "අද දෙරණ උකුස්සා" ට තොරතුරු අනාවරණ විය.

කුරුණෑගල ජනකලා කේන්ද්‍ර පරිශ්‍රයේ පිහිටා ඇති අඩක් වැඩ නිමකළ එම රංග ශාලාව සොයා "අද දෙරණ උකුස්සා" ගවේෂණයක නිරත වූයේ ඒ අනුවය.

සුන්දර ඇතුගල් පුරවරයේ පිහිටා තිබෙන වයඹ ජනකලා කේන්ද්‍රය ඉදිවන්නේ 2001 වසරේදීය. 

වයඹ පළාතේ දරුවන්ගේ කලා කුසලතා ඔප් නැංවීමේ අරමුණින් ආරම්භ කළ මෙම ජනකලා කේන්ද්‍රය එකල සතියේ සෑම දිනකම පාහේ කලා කටයුතුවලින් කාර්යබහුල වුණි.

එසේම සංස්කෘතික මධ්‍යස්ථාන හා කෞතුගාකාරවලින්ද එම ජනකලා කේන්ද්‍රය සමන්විත විය. 

වයඹ පළාත් සභා ආණ්ඩුකාරවරයා විසින් පසු කලෙක එම භූමියේ රංග ශාලාවක් ඉදිකිරීමට යෝජනා කර එහි කටයුතු ආරම්භ කරන්නේද වේදිකා නාට්‍ය, ප්‍රසංග සඳහා එය යොදා ගැනීමේ අරමුණිනි.

කෙසේවෙතත් විවිධ දේශපාලන අත පෙවීම් සහ ව්‍යාපෘතියේ සිදුවූ අක්‍රමිකතා හේතුවෙන් එම රංග ශාලාවේ ඉදිකිරීම් අද වන විට අතරමග නැවතී තිබේ. 

2012 ආරම්භ වී වසර 10කට අධික කාලයක් ගතවී තිබුණත් රංග ශාලාවේ ඉදිකිරීම් කටයුතු අවසන් කර නොතිබීම කනගාටුවට කරුණකි.

විවිධ අවස්ථාවලදි එම රංග ශාලාවේ ඉදිකිරීම් බලධාරින් ලවා නැවත ආරම්භ කරවීමට ප්‍රදේශවාසින් උත්සාහ දැරුවද බලධාරින්ගේ නිද්‍රාශීලි ක්‍රියාපිළිවෙත හමුවේ එම උත්සාහයන් අද වනතුරුත් ගඟට කැපූ ඉණි බවට පත්ව අවසන්ය.

අද මෙසේ පරිහාණියට පත්ව තිබෙන මෙම රංග ශාලාව දෙවැනි වන්නේ මෙරට විශාලතම ප්‍රාසාංගික රංග ශාලාවවන නෙළුම් පොකුණ රංග ශාලාවට පමණි.

ඉතා විශාල මුදලක් ඇස්තමේන්තුගත කරමින් සැලසුම් කරනලද එම රංගල ශාලාවේ එකවර අසුන් ගැනීමට හැකි සංඛ්‍යාව 1200කට අධිකය. 

එය නෙළුම් පොකුණ රංග ශාලාවේ ආසන සංඛ්‍යාවට වඩා අඩුවී ඇත්තේ හතක් පමණි. 

එසේම මීට කලකට පෙර කලාව ඉගෙන ගන්නා දරුවන්ගෙන් පිරී තිබුණ වයඹ ජනකලා කේන්ද්‍රය ද නිසි නඩත්තුවක් නොමැතිවීමෙන් මේ වනවිට සම්පූර්ණයෙන්ම පරිහාණියට පත්ව තිබේ.

බලධාරින් විසින් මෙසේ අපතේ යවා ඇත්තේ මහජන මුදල් නොවේ ද?

ඔවුන් මෙලෙස පරිහානියට පත්කර ඇත්තේ මෙරටට තවත් දක්ෂ කලාකරුවන්ට බිහිවීමට තිබූ අවස්ථාවන් නොවේ ද?
 
අදාළ බලධාරින් කල්මරමින් නොසිට මේ සඳහා සුදුසු ක්‍රියාමාර්ග ගන්නා තෙක් "අද දෙරණ උකුස්සා" සීරුවෙන්.